රුසියාවේ, මොස්කව් උමං දුම්රිය සේවය හෙවත් මෙට්‍රෝ දුම්රිය සේවයේ දුම්රියක් පීලි පැනීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් මගීන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
මෙම අනතුරින් තුවාල ලැබූවන් වහාම රෝහල් කරා රැගෙන ගොස් ඇති අතර, අසාධ්‍ය තත්ත්වයේ පසුවූවන් ගුවන් මගින් රැගෙන ගිය බවත් වාර්තා වෙයි.
අනතුරට හේතුව විදුලි සැපයුමේ දෝෂයක් බවත්, එහිදී දුම්රිය හිටි හැටියේම නැවතී ඇති බවත් කියැවෙයි.
මෙම දුම්රිය අනතුර මෙට්‍රෝ දුම්රිය සේවයේ ඉතිහාසය තුළ සිදුවූ දරුණුතම අනතුරක් ලෙස සැලකෙන අතර, මෙට්‍රෝ යනු ලෝකයේ පැරණිතම උමං දුම්රිය සේවා අතරින් එකකි.
බටහිර මොස්කව් හි ස්ලැවින්ස්කි බොල්වාඩ් සහ පාක් පොබෙඩි අතර මෙම දුම්රිය පීලි පැනීම හා අනතුර සිදුව තිබේ.
ලැබෙන වාර්තා අනුව, තුවාල ලැබූවන්ගෙන් 50ක් පමණ අසාධ්‍ය තත්ත්වයේ පසුවෙයි.
මගීන්ගෙන් පිරී පැවති දුම්රිය එම අවස්ථාවේදී වයඹදිග මොස්කව් හි සිට නගර මධ්‍ය කරා ගමන් කරමින් පැවතී ඇත.
බලධාරීන් පෙන්වා දෙන පරිදි එම අවස්ථාවේදී මගීන් 200ක් පමණ නිරුපද්‍රිතව ඉවත් කරගැනීමට සමත්ව තිබේ. කෙසේ වෙතත් අනතුර සිදුවීමෙන් පැය කිහිපයකට පසුවත් උමං මාර්ගයේ මගීන් සිරවී සිටි බව කියයි.