ලෝකයේ දිගම පාදවලට හිමිකම් කියන කාන්තාව ලෙස 2008 බීජි ඔලිම්පික් ක්‍රීඩා උලෙළෙහි රුසියානු පැසිපන්දු කණ්ඩායම නියෝජනය කරමින් ලෝකඩ පදක්කම් දිනූ එකටරීනා ලිසීනා නම් කිරීමට ගිනස් ලෝක වාර්තා කමිටුව ඊයේ (08දා) කටයුතු කර තිබේ.
රුසියානු ජාතික පැසිපන්දු කණ්ඩායමේ හිටපු දක්ෂ ක්‍රීඩිකාවක වූ ඇයගේ වම් පාදය සෙන්ටිමීටර් 132.8ක් (අඟල් 52.2ක්) සහ දකුණු පාදය සෙන්ටිමීටර් 132.2ක් (අඟල් 52ක්) ලෙස දක්වා තිබේ.
අඩි 8යි, අඟල් 8.77ක් උස ඇය 2011 වසරේදී මවුපදවිය පවා ලැබූ අතර, 2014 වසරේදී වෘත්තීය පැසිපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනිමින් නිරූපණ ක්ෂේත්රයට පිවිසියාය.
මේ ආකාරයෙන් වෘත්තීය නිරූපණ ක්ෂේත්රයට පිවිසීම තුළ ඇය තවත් වාර්තාවකට හිමිකම් කියන අතර, දැනට ලොව සිටින උසම නිරූපිකාව ලෙසද ඇය හැඳින ගැනෙයි.
"මේ වෙනුවෙන් මා අයැදුම් ඉදිරිපත් කළ පසුගිය ජනවාරි මාසයේ සිට මා බලාපොරොත්තුවෙන් සිටි දිනය උදාවුණා" යැයි සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සටහනක් තබමින් ඇය පවසා තිබේ.
"නිරූපණ ලෝකය වඩා උස් තලයකට ගෙනඒමේ ප්රයත්නයට මා මුල පිරුවා. ගිනස් ලෝක වාර්තාවක හිමිකාරිනියක වීමට මට හැකිවීම අති විශාල ජයග්‍රහණයක්. සෑම අයුරින්ම මා වෙත උදව් උපකාර කළ සැමට ස්තූතිය පළ කරනවා." ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
තමාගේ අසාමාන්‍ය උස තමාගේ දෝෂයක් හෝ තමාට කැළලක් නොවන බවත්, එය තමා වෙත උරුම වූ සුවිශේෂී වරප්රසායක් බවත් වයස අවුරුදු 19 වනවිට තමන් අවබෝධ කරගත් බව ඇය අද පවසයි.
මේ වනවිට 29 හැවිරිදි වියේ පසුවන ඇය රුසියාවේ උසම පැසිපන්දු ක්‍රීඩිකාව ලෙසද සැලකෙන අතර, රුසියාව තුළ දිගම පාදයන්ට හිමිකම් කියූ කාන්තාව ලෙසද හැඳිනගෙන තිබුණි.