ලෝකයේ වඩාත් කාර්යබහුලම ජාත්‍යන්තර ගුවන් මාර්ගය සිංගප්පූරුවේ සිට මැලේසියාවේ ක්වාලලම්පූර් දක්වා වැටී ඇති බව හෙළි වී තිබේ.
ඒ අනුව, 2018 වසරේ පෙබරවාරි මාසය දක්වා වූ වසරක කාලය තුළ මෙම ගුවන් තොටුපොළ ද්විත්වය අතර ගුවන් යානා ගුවන් ගමන් වාර 30,537ක් සිදුකර ඇති බව ගුවන් සංචරණ සමීක්ෂණයක් පවසයි.
ක්වාලලම්පූර් සහ සිංගප්පූරුව අතර ගුවන් ගමනකට පැයක පමණ කාලයක් ගතවන අතර, මෙම ගමනාන්ත අතර අධිවේගී දුම්රිය මාර්ගයක් ඇති කිරීමේද සැලසුමක් පවතී.
මෙම ගුවන් මාර්ගයේ සාමන්‍යයක් ලෙස දිනකට ගුවන් ගමන් වාර 84ක් පමණ සිදුකර ඇති අතර, මෙහි විශේෂයෙන්ම අඩු මිල ගුවන් සේවා විශාල වශයෙන් සේවයේ යොදවා තිබේ.
ඒ අතර, ස්කූට්, ජෙට්ස්ටාර්, එයාර් ඒෂියා සහ මලින්ඩෝ එයාර් යන ගුවන් සමාගම් මෙන්ම, දෙරටෙහි ප්‍රමුඛතම ගුවන් සමාගම් වන සිංගප්පූරු ගුවන් සමාගම සහ මැලේසියානු ගුවන් සමාගමද මෙම මාර්ගයේ සිය මෙහෙයුම් සිදුකරනු ලබයි.
ආසියානු රාජ්‍යයන් දෙකක් අතර වූ මෙම කාර්යබහුලම ගුවන් මාර්ගය ලෙස මීට පෙර වාර්තා අතරට පැමිණ තිබුණේ හොංකොං සහ තායිපේ අතර ගුවන් මාර්ගයයි.
ආසියාවෙන් පිටත මේ වනවිට ලොව කාර්යබහුලම ගුවන් මාර්ගය ලෙස නිව්යෝක් හි ලාගාඩියා ගුවන් තොටුපොළ සහ ටොරොන්ටෝ හි පියර්සන් ගුවන් තොටුපොළ 2018 පෙබරවාරි දක්වා වසරක කාලය තුළ වාර්තා අතරට පැමිණ ඇත්තේ ගුවන් ගමන් 16,956ක් වාර්තා කරමිනි.