රොහින්ග්‍යා අර්බුදය හමුවේ බංග්ලාදේශයට පළායන රොහින්ග්‍යා වැසියන්ගෙන් ඇතැම් දෙනා බිම්බෝම්බවලට හසුව දෙපා අහිමිව ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙම බිම්බෝම්බ කවුරුන් විසින් වළදැමූ ඒවාද යන්න එම වාර්තාවල සඳහන් නොකිරීමද විශේෂත්වයකි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී සෙයිඩ් රාද් අල්-හුසේන් කුමරු විසින් මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව ම්ලේච්ඡ හමුදා මෙහෙයුමක් සිදුවන බව පවසා ඇත. එය ජනවර්ගයක් අතුගා දැමීමක් ලෙස ඔහු හඳුන්වා තිබේ.
නමුත්, මියන්මාරය තුළ වහාබ් වාදයේ සෙවණැලි ලැබූ රොහින්ග්‍යා අන්තවාදීන් අතින් බෞද්ධ සංහාරයන් සිදුවන විට අල්-හුසේන් කුමරු නෑසූ කන්ව සිටි බව ස්වාධීන මාධ්‍යවල මතයයි.
එමෙන්ම, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙතද මේ අර්බුදය ගෙනඒමට බ්‍රිතාන්‍ය සැරසෙන බව කියැවෙයි. ඒ අනුව, මෙම අර්බුදය හමුවේ මියන්මාරය නමැති බෞද්ධ රාජ්‍යය හුදකලා කිරීමට බොහෝ දෙනෙකු මාන බලන බව පැහැදිලිය.
එමෙන්ම, මෙම රොහින්ග්‍යා අර්බුදයේදී බොහෝ විදේශ මාධ්‍යයන් ඔවුන්ගේ න්‍යාය පත්රයන් මෙන්ම, ඔවුන්ට මුදල් ගලාඑන ක්‍රමවේදවල න්‍යාය පත්රයන්ට අනුව කටයුතු කරන බවටද මතයක් පවතී.
නොබෙල් සාම ත්‍යාග ලාභී අවුන්ග් සාන් සුඛීගේ නොබෙල් සාම ත්‍යාගය යළි උදුරා ගැනීම සඳහා මහා පෙත්සමකට අත්සන් කිරීමට ඇතැම් දෙනා උත්සාහ කරන බවටද පුවත් වාර්තා වුවත්, පසුගියදා සිය හඬ අවදි කළ සුඛී කියා සිටියේ මේ සිද්ධිය සම්බන්ධයෙන් මහා අයිස් කන්දක් ආකාරයේ බොරුවක් ජාත්‍යන්තරය විසින් මියන්මාරයට එරෙහිව මවමින් පවතින බවයි.
ඒ අනුව, මියන්මාරයේ සිදුවන්නේ යැයි කියන මෙම රොහින්ග්‍යා සංහාරය පිළිබඳව ප්රවෘත්ති දෙස බැලීමේදී, එදා එල්.ටී.ටී.ඊ. සමයේ මෙම ජාත්‍යන්තර මාධ්‍ය මවා පෑ බොරුවම අදද දක්නට ලැබෙන බවද ස්වාධීන මාධ්‍යවල අදහසයි. ඒ නිසා ඒවායේ තාරබර ඉවත්කර විමසිලිමත්වීම වටී.