රුසියානු ප්‍රහාරක යානයක් තුර්කි ප්‍රහාරයකින් බිම හෙළිමේ සිදුවීම මූලික කරගෙන ගින්දරත් සමග සෙල්ලම් නොකරන ලෙස තුර්කි අගමැතිවරයා රුසියානු ජනාධිපතිවරයාට අනතුරු ඇඟවීමක් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
බටහිර පක්ෂපාතී මාධ්‍ය වාර්තාවන්හි මෙවැනි අදහසක් පැවතියත්, ඇතැම් ස්වාධීන විදෙස් මාධ්‍ය පෙන්වාදී තිබුණේ තුර්කි අගමැති එර්ඩෝගාන් මෙම සිදුවීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති පූටින් සමග මුහුණට මුහුණ සාකච්ඡාවකට සූදානම් බවයි.
මේ අතර, තුර්කි අගමැතිවරයාට රුසියානු ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් අවශ්‍ය නම් ඊට පෙර මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහු සමාව අයදිය යුතු බවටද බටහිර පක්ෂපාතී මාධ්‍ය පෙන්වාදී තිබුණි.
මේ අතර, තුර්කිය සමග පවතින ද්වීපාර්ශ්වික සබඳතා රැසක් නවතා දැමීමටද රුසියාව කටයුතු කර තිබුණු අතර, මෙය පිටුපසින් පැමිණ පිහියෙන් ඇනීමක් ලෙස පූටින් පෙන්වා දී තිබුණි.
ඉස්ලාම් රාජ්‍යයට ප්‍රහාර එල්ල කරමින් සිටි රුසියානු ප්‍රහාරක යානය තුර්කි ගුවන් සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊට ප්‍රහාර එල්ල කළ බව තුර්කිය කියා සිටියත්, රුසියාව එය තරයේ ප්‍රතික්ෂේප කර තිබුණි.