විස රසායනිකයක් මිශ්ර වූ රස කැවිලි ආහාරයට ගත් පාකිස්තාන වැසියන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරටින් වාර්තා වෙයි.
අලුත උපන් දරුවාගේ උපත සැමරීම වෙනුවෙන් පුද්ගලයෙකු නිවසට ගෙනා රසකැවිලි විස වීමෙන්ද එම නිවසේ මෙම පුද්ගලයා ඇතුළු ඔහුගේ ඥාතීන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයන් 5 දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, මෙම රසකැවිලි ආහාරයට ගත් තවත් පුද්ගලයන් 77 දෙනෙකු රෝගාතුරව සිටින බවද කියැවෙයි.
දේශීව රසකැවිලි නිෂ්පාදනය කරන පුද්ගලයන් දෙදෙනෙකු හා එක් සේවකයෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම රසකැවිලි වෙළෙඳ සැලට ආසන්නව කෘමි නාශක වෙළෙඳ සැලක්ද අති අතර, එය මේ දිනවල අලුත්වැඩියා කරන බැවින් එහි වූ කෘමි නාශක බෝතල් ආරක්ෂාව පතා මෙම වෙළෙඳ සැලේ තැන්පත් කර ඇති බවද කියැවෙයි.
ඒ අනුව, මෙම කෘමි නාශක රස කැවිලි සමග මිශ්ර වන්නට ඇති බවට පොලීසිය සැක කරන අතර, එරට ආහාර පරීක්ෂක නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සඳහා එම රසකැවිලි ඔවුන් භාරයට ගෙන තිබේ.