රජ පෙළපත අත්හැර මාකෝ පොදු ජන හදවත වැළඳ ගනී
ජපානයේ මාකෝ කුමරිය සාමාන්‍ය පුරවැසියෙකු සමග විවාහ ගිවිස ගැනීම සිදුවූ බව නිල වශයෙන් දැනුම් දෙයි.
තම විවාහය සඳහා ජපාන අධිරාජ්‍යයාගේ අනුමැතිය ලැබීමෙන් පසුව විවාහ ගිවිස ගැනීම සිදුවූ බවද ඇය සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, මේ ආකාරයෙන් රාජකීයයෙකු නොවන සාමාන්‍ය පුරවැසියෙකු සමග විවාහ වීමත් සමග රාජකිය කුමරියට සිය රාජකීය තත්ත්වය අහිමි වීම නිරායාසයෙන් සිදුවන්නකි.
ජපානයේ රාජකීය නීතියට අනුව රාජකීය තරුණියක සාමාන්‍ය පුරවැසියෙකු සමග විවාහ වුවහොත් ඇයට සිය රාජකීය තත්ත්වය අහිමි වෙයි. කෙසේ වෙතත්, මෙම නීතියේ ඇති විවාදාත්මක කරුණ වන්නේ එවැනි රාජකීය තරුණයෙකු සාමාන්‍ය පවුලක තරුණියක සමග විවාහ වීමෙන් ඔහුට සිය රාජකීය තත්ත්වය අහිමි නොවන නිසාය.
තම සහකරුවා වන කෙයි කොමුරෝ හා තම විවාහය පිළිබඳව විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මාකෝ පවසා සිටියේ කොමුරෝ හිරු මෙන් තමා වෙත පෑ මුල්ම සිනහව ආදරයක් බවට පෙරලුණු බවයි.
"මම සාමාන්‍ය පවුලකින් කසාදයක් කර ගත්තොත් මගේ රාජකීය තත්ත්වය අහිමි වන බව කුඩා අවදියේ සිටම මා දැන සිටියා. කෙසේ වෙතත්, රාජකීය පවුලට මගෙන් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් මට හැකිතාක් ඉටුකර දීමට මා කටයුතු කරනවා. මට මගේ ජීවිතය පෝෂණය කරගැනීමට පුළුවන්." ඇය වැඩිදුරටත් පවසා සිටියාය.
ඇයගේ අතගත් මනාලයා 25 හැවිරිදි නීති සමාගමක සේවය කරන්නෙකි. මීට වසර පහකට පෙර එකම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අවදියේදී ඔවුන් දෙදෙනා මුණගැසී ඇත.
ජපානයේ රාජකීය ඔටුන්නට හිමිකම් කියන තෙවැනි පරම්පරාවේ කුමරියක වන මාකෝගේ පියා ෆුමිහිතෝ (අකිෂිනෝ) කුමරාය. මව කිකෝ කුමරියයි.

.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

