යුක්රේනය වෙත තම හමුදා යැවීමට තමන්ට අයිතියක් තිබුණත්, තමන් ඒ අයිතිය ක්රියාවේ නොයොදවන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් පවසා සිටියි.
නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් පළාත තුළ පිහිටි රජයේ ගොඩනැගිලි සහ පොලිස් ස්ථාන අත්පත් කරගනිමින් කටයුතු කළ රුසියානු හිතවාදීන් වැළැක්වීම සඳහා යුක්රේන රජය සිය හමුදා එවමින් ත්රස්ත විරෝධී මෙහෙයුමක් ආරම්භ කිරීමත්, එහිදී ඩොනෙට්ස්ක් හි හමුදා කඳවුරකදී ඇති වූ ගැටුමකින් රුසියානු හිතවාදීන් තිදෙනෙකු මියයෑමත් යන සිද්ධි මුල් කරගනිමින් රුසියානු ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා තිබේ.
එරට රූපවාහිනියක් ඔස්සේ සජීවීව ජනතාව අමතමින් රුසියානු ජනාධිපතිවරයා පවසා සිටියේ සාකච්ඡාවෙන් මෙම ගැටලුව විසඳා ගැනීම තම බලාපොරොත්තුව බවයි.
මේ අතර, රුසියාව, යුක්රේනය, යුරෝපා සංගමය හා ඇමෙරිකාව එක්ව ජිනීවා හිදී සාකච්ඡාවක් ආරම්භ කිරීමට සූදානමින් සිටින අතර, රුසියාව විසින් ක්රිමියාව අත්පත් කරගැනීමෙන් පසුව මෙම පාර්ශ්ව එක්ව පවත්වන ප්රථම හමුව ලෙසද සැලකෙයි.
මේ අතරම ක්රමටොර්ස්ක් නගරයේදී යුක්රේන හමුදා රථ 6ක් සිය භාරයට ගැනීමටද රුසියානු හිතවාදීන් පෙරේදා පියවර ගත්තේය. අනතුරුව ඒවායේ සිටි යුක්රේන සෙබලුන් බස් රථවල නංවා නැවතත් ඔවුන් පැමිණි ස්ථානය වෙත හරවා යැවීමටද ඔවුන් කටයුතු කර තිබිණි.
තමන් කිසි විටෙකත් සටනක් සඳහා නොපැමිණි බවත්, තම රටෙහි ජනතාවටම ප්රහාර එල්ල කිරීමට නිකුත් කරන නියෝග පිළිගන්නට තමන් සූදානම් නැතැයි ඒ අතර සිටි එක් යුක්රේන ආරක්ෂක නිලධාරියෙකු කියූ තිබුණි. ඊට අමතරව දකුණු ස්ලොවිආන්ස්ක් පළාතේ වෙසෙන ජනතාව යුක්රේන හමුදා රථ 14ක් සිය භාරයට ගෙන ඇති බවට තොරතුරුද ඊයේ වාර්තා විය. නැගෙනහිර යුක්රේනයේ තත්ත්වය එසේ පවතිද්දී යුක්රේනයත් රුසියාවත් අතර දේශසීමාව ආසන්නයේ සිය සෙබලුන් 40,000 ක ප්රමාණයක් රඳවා තැබීමටද රුසියාව ඊයේ කටයුතු යොදා තිබුණු බව වාර්තා විය.