යුක්රේනයේ නගර තුනක රජයේ ගොඩනැගිලි රුසියානු හිතවාදී කැරලිකරුවන් විසින් අත්පත් කරගැනීමත් සමග යුක්රේනයේ වත්මන් තත්ත්වය ගැන ඇමෙරිකාව වැඩි සැලකිල්ලක් යොමු කර ඇති බව පැවසෙයි.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් වෙත දුරකථන ඇමතුමකින් පවසා ඇත්තේ යුක්රේනය තුළ අස්ථාවරත්වයක් ඇති කිරීමට රුසියාව කටයුතු කරන්නේ නම් ඒ වෙනුවෙන් රුසියාවට යම් වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවය.
මෙය එක් අතකින් රුසියාව වෙත ඇමෙරිකාව විසින් සිදුකළ අනතුරු ඇඟවීමකි.
කෙසේ වෙතත් ඉදිරි දින 10ක කාලය තුළ සෘජු සාකච්ඡා මේසයට පැමිණීමේ හැකියාව සම්බන්ධයෙන්ද ඇමෙරිකානු හා රුසියානු නියෝජිතයන් දුරකථනයෙන් කතිකා කරගෙන ඇති බවද වාර්තා වෙයි.
ඩන්ට්ස්ක්, ලුහන්ස්ක් සහ ඛාර්කිව් යන නගරවල රජයේ ගොඩනැගිනි මේ ආකාරයෙන් රුසියානු හිතවාදීන් විසින් අත්පත් කරගෙන ඇති අතර, මේ තත්ත්වය මැඩපැවැත්වීම සඳහා යුක්රේන හමුදා එම නගර වෙත යවා ඇති බවද පැවසෙයි.
ඩන්ට්ස්ක් හි පළාත් පළාත් ආණ්ඩු ගොඩනැගිල්ල මේ ආකාරයෙන් රුසියානු හිතවාදී කැරලිකරුවන් විසින් සිය ග්‍රහණයට ගනිමින් එම පළාත තවදුරටත් යුක්රේනය සමග සිටිනවාද නැත්නම් රුසියාවට සම්බන්ධ වෙනවාද යන්න තීරණය කිරීම වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්වීමටද සූදානම් වන බව විදෙස් පුවත් සේවා පවසයි.
රුසියාව මීට පෙර ක්‍රිමියා අර්ධද්විපයේද මෙවැනිම ක්රියාකලාපයක් අනුගමනය කරමින් එය රුසියාවට ඈඳා ගැනීමට කටයුතු කළේය.