යුක්රේනයට අයත් හමුදා හෙලිකොප්ටරයක් වෙඩි තබා බිම හෙළා ඇති බව එරට ආරක්ෂක අංශ තහවුරු කරයි.
නැගෙනහිර යුක්රේනයේදී සිදුවී ඇති මෙම වෙඩි තැබීමෙන් හෙලිකොප්ටරයේ ගමන් කළ පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද පෙන්වා දී තිබේ.
හමුදාවට අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයේ යෙදුණු එම්.අයි.08 වර්ගයේ හෙලිකොප්ටරයක් මේ ආකාරයෙන් වෙඩි තබා බිම හෙළා තිබෙන අතර, එය ගුවන්ගත වී සුළු මොහොතකින් ඒ වෙත රොකට් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව පැවසෙයි.
එළැඹෙන සිකුරාදා දක්වා යුක්රේනය විසින් ඉල්ලා සිටි සටන් විරාමයට එකඟව කටයුතු කරන බවට රුසියානු හිතවාදීන් පවසා තිබියදීත් මෙසේ ප්‍රහාරය එල්ල වී තිබේ.
මේ අතර, යුක්රේනයට හමුදාව පිටත්කර යැවීම සඳහා පාර්ලිමේන්තුවෙන් ලැබූ අයිතිය වළක්වන ලෙස ඉල්ලා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් රුසියානු පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කර දිනක් ගතවීමටත් පෙර මෙය සිදුවීමද විශේෂත්වයක් ගනී.
මේ වනවිට නැගෙනහිර යුක්රේනයේ උද්ගතව ඇති උණුසුම්කාරී වාතාවරණය සමනය කිරීමේ ප්‍රථම පියවර ලෙස රුසියානු ජනාධිපතිවරයාගේ මෙම යෝජනාව ගැන යුක්රේනය සතුට පළ කර තිබුණි.
පසුගිය මාර්තු 01 වැනිදා සිට යුක්රේනය තුළ හමුදාව යෙදවීමේ බලය එරට පාර්ලිමේන්තුව විසින් පූටින් වෙත ලබාදී තිබුණු අතර, නිවේදනයක් නිකුත් කරමින් යුක්රේන ජනාධිපති පේට්‍රෝ පොරොෂෙන්කෝ පවසා තිබුනේ මේ තුළින් යුක්රේනයේ සාම වැඩපිළිවෙළට රුසියානු ජනාධිපතිවරයා සහාය පළ කර ඇති බවක් පෙනෙන්නට ඇති බවයි.