යුක්රේනයේ අගනගරය වූ කියෙව් හි පසුගිය පෙබරවාරි මාසයේ පැවති විරෝධතාවලදී එරට කැරලි මර්දන පොලීසිය විසින් උද්ඝෝෂකයන් විශාල පිරිසක් ඝාතනය කර ඇති බව යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසා සිටියේය.
දැනට සිදුකරන ලද පරීක්ෂණවලට අනුව කැරලි මර්දන පොලිසියට අයත් එක් තුවක්කුවකින් පමණක් පුද්ගලයන් අට දෙනෙකු මරා දමා ඇති බව හෙළි වී ඇතැයිද අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ තවදුරටත් පවසා සිටියේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ යුක්රේනයේ වත්මන් අගමැති අර්සේනියි යට්සෙන්යුක් කියා සිටියේ මෙම මරණවලට, බලයෙන් පහ කළ ජනාධිපති වික්ටර් යනුකොවිච් සහ ඔහුගේ ආධාරකරුවන් සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවය.
කෙසේ වෙතත් මෙම පරීක්ෂණ මෙහෙයවන කණ්ඩායම් විසින් මේ වනවිටත් එම සිදුවීම්වලට සම්බන්ධ කැරලි මර්දන පොලිසියේ සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද එරටින් වාර්තා වෙයි.
හිටපු ජනාධිපති වික්ටර් යනුකොවිච්ට එරෙහිව දියත් වූ උද්ඝෝෂණවලදී සියයකට අධික පිරිසක් මරණයට පත්වූ අතර, අවසානයේ හිටපු ජනාධිපතිවරයාට සිය ධුරයෙන් ඉවත්වීමටද සිදුවිය.