මැයි 25 වැනිදා පැවැත්වීමට නියමිත යුක්රේන ජනාධිපතිවරණය නිවැරදි මාවතක් වෙත ගමන් කිරීමක් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් පවසා සිටීමත් සමග යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් යම් කොළ එළියක් රුසියාවෙන් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
කෙසේ වෙතත්, ඒ කොළ එළිය සමග දැල්වුණු රතු එළියක් සමග රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ යුක්රේනයේ ජීවත් වන සියලු ජනතාවගේ අයිතීන් ආරක්ෂා නොවුණහොත්, මෙම මැතිවරණයෙන් ඵලක් නොවනු ඇති බවයි.
මේ අතර, රුසියානු ජනාධිපතිවරයා රුසියානු හිතවාදී සටන්කාමීන්ගෙන් උදක්ම ඉල්ලා ඇත්තේ මෙම සති අන්තයේදී ඔවුන් පැවැත්වීමට කටයුතු කරමින් සිටි ස්වාධීන ජනමත විචාරණය ඉල්ලා අස්කර ගන්නා ලෙසයි.
රුසියාව හා යුක්රේනය මෙන්ම ඔවුන්ගේ බටහිර හිතවතුන් විසින් යුක්රේනයේ ඇතිවී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිතභාවයක් දක්වා සිටියදී මෙම ප්‍රතිචාරය රුසියානු ජනාධිපතිවරයා විසින් පෙන්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
කෙසේ වෙතත් රුසියාව කියා සිටින්නේ, මේ වනවිට යුක්රේනයේ පවතින ප්රජාතතන්ත්ර විරෝධී රජයෙන් නැගෙනහිර හා දකුණුදිග යුක්රේනයේ වෙසෙන රුසියානු කතා කරන ජනාතාවගේ අයිතීන් රැකගැනීම සඳහා ඔවුන් කටයුතු කරන බවයි.