අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් යානය සොයා ගැනීම සඳහා රටවල් 25ක මැදිහත්වීමෙන් දැවැන්ත නීර්ක්ෂණ මෙහෙයුමක් අරඹා ඇති බව මැලේසියානු බලධාරීහු පවසති.
යානාව සොයා ගැනීමට රේඩාර් සහ චන්ද්‍රිකා තොරතුරු ලබාදෙන ලෙසද මැලේසියානු බලධාරීන් අසල්වාසී රටවල් කිහිපයකින්ම ඉල්ලීම් කර ඇති බවද පැවසෙයි.
මේ අතර, මැලේසියානු ගමනාගමන අමාත්‍ය හිෂම්මුද්දීන් හුසේන් කියා සිටියේ රටවල් 25ක් යානය සෙවීමේ මෙහෙයුම් වලට එක්වී සිටින බවයි.
"ඊයේ හෙළිදරව් වූ කරුණු අනුව දැවැන්ත ප්‍රදේශයක සෙවීමේ මෙහෙයුම් සිදුකිරීමට සිදුව තිබෙනවා. අලුත් තොරතුරක් සමග කවුරු හෝ ඉදිරිපත් වුනොත් අපිට නිශ්චිත ප්‍රදේශයක් තුළ මෙහෙයුම් කළ හැකි වෙනවා. පෙරේදා රාත්‍රියේ සිටම අප ඒ අරමුණ ඔස්සේ කටයුතු කරනවා.’ යැයි ඇමතිවරයා පැවසීය.
චන්ද්‍රිකා සංඥාවලට හා රේඩාර් උපකරණ මගින් සැපයෙන වාර්තාවලට අනුව අතුරුදන් වූ ගුවන් යානයේ ගමන් මාර්ගයේ සිදුව ඇති වෙනස්කම්, යානය තුළ සිටි අයෙකු විසින් හිතා මතා සිදුකර ඇති බවද පසුගිය සෙනසුරාදා මැලේසියානු අගමැති නජිබ් රසාක් ඊයේ කියා සිටියේය.
MH370 යානයේ සන්නිවේදන පද්ධති හිතාමතාම අක්‍රීය කර ඇති බවත්, ගමන් මග වෙනස් කිරීමෙන් පසුව තවත් පැය හතක කාලයක් යානය පියාසර කර තිබිය හැකි බවත් අගමැතිවරයා වැඩිදුරටත් පවසා තිබුණි.
මේ අතර, යානයේ ගුවන් නියමුවන් දෙදෙනා පිළිබඳවද පරීක්ෂණ පැවැත්වෙන අතර මේ වනවිටත් ඔවුන්ගේ නිවෙස් සෝදිසි කර ඇති බව වාර්තා වෙයි. එමෙන්ම, යානයේ ගමන් කළ සේවක පිරිස සහ සියලු මගීන් පිළිබඳවද සොයා බැලෙන බව මැලේසියාවෙන් වාර්තා වෙයි.
පසුගිය 8 වැනි සෙනසුරාදා MH370 දරණ බෝයිං 777 වර්ගයේ මෙම යානය අතුරුදන් වූයේ මගීන් 239 දෙනෙකුද සමගය.