මෝසුල් අත්පත් කරගැනීමට ඉරාක හමුදා ඉදිරියට පැමිණියත් පසුබස නොයන ලෙස IS ඉස්ලාම් රාජ්ය ත්රස්ත නායක අබු බකර් අල්-බග්දාදි සිය සටන්කරුවන්ට බලකර සිටියි.
ඉස්ලාම් රාජ්ය ත්රස්ත නායකයා හඬ පටයක් නිකුත් කරමින් මෙම නිවේදනය නිකුත් කර ඇති බව කියයි.
මෙම හඬ පටය මෙතෙක් තහවුරු නොකරන ලද හඬ පටයක් බව පැවසුණත්, විශේෂඥයන් පවසන්නේ මෙය විශ්වාස කළ හැකි හඬපටයක් බවයි.
අල්-බග්දාදි කවර ස්ථානයක රැඳී සිටින්නේද යන්න අභිරහසක් වුවත්, ඔහු සිය ත්රස්තයන් සමග මොසුල් නගරයේ සිටින බවටද මතයක් පවතී.
ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ගේ ඉරාකයේ එකම බල කඳවුර වන මොසුල් යළි අත්පත් කරගැනීමේ අරමුණින් මීට දෙසතියකට පෙර ඉරාක රජයේ හමුදා මෙන්ම කුර්දි පෙෂ්මෙර්ගා සටන්කාමීන්, සුන්නි අරාබි සටන්කාමීන් හා ෂියා මුස්ලිම් සටන්කාමීන්ගේ සහභාගීත්වයෙන් ඇරඹි මෙහෙයුම මේ වනවිට මොසුල් නගර සීමාවට ඇතුළු වී තිබේ.
එම හමුදාවේ 50,000ක පමණ භට පිරිසක් මෙම මෙහෙයුමට සම්බන්ධ වී සිටින අතර, ඇමෙරිකා ප්රමුඛ ඒකාබද්ධ හමුදාවේ ගුවන් ප්රහාරක ශක්තියද ඊට ලැබී තිබේ.