රැකියාවක් සොයාගෙන 1998 වසරේදී ඉන්දියාවට පැමිණ, පසුව අහමේදාබාද් හිදී නරේන්ද්‍ර මෝදි මුණ ගැසීමෙන් පසු ඔහුගේ සෙවනේ හැදී වැඩුණු ජීත් බහධූර් නමැති නේපාල තරුණයා, අගමැති මෝදිගේ ප්‍රථම නේපාල සංචාරය සමග එක්වෙමින් සිය නේපාල පවුල මුණ ගැසුණු බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේය.
වසර 16ක කාලයක් මොදි සෙවනේ හැදී වැඩුණු ජීත් මේ වනවිට ව්‍යාපාර පරිපාලන උපාධිය හදාරමින් සිටියි.
ඉන්දීය දූත පිරිස නේපාලයේ රැඳී සිටි කත්මණ්ඩු හෝටලයේදී අගමැතිවරයා මුණ ගැසීමට බහධූර්ගේ පවුලේ උදවිය පැමිණි අතර, ඔවුන් බටහිර නේපාලයේ, නවර්පරාසි දිස්ත්‍රික්කයේ, කොවොසෝති නමැති පැල්පත් ආශ්‍රිතව ජීවත් වන බව පැවසුණි.
සිය නේපාල සංචාරය සම්බන්ධයෙන් ටිවිටර් පණිවුඩයක් යොමු කළ ඉන්දීය අගමැතිවරයා පවසා සිටියේ, තම නේපාල සංචාරය අතිශය වැදගත් සංචාරයක් බවයි. එමෙන්ම, එය පෞද්ගලික හැඟීම්වලින්ද පිරුණු සංචාරයක් එහි සඳහන්ව තිබුණි.