ඉරාක හමුදා මොසුල් නගරය වෙත ක්‍රමයෙන් ළඟාවන අතරතුර නගර ආශ්රිත ගම්මානවල සිටින සාමාන්‍ය වැසියන් ආරක්ෂාව පතා පළා යමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ග්‍රහණයේ තවදුරටත් පවතින ඉරාකයේ දෙවැනි විශාලතම නගරය වන මොසුල් හි බලය යළි සියතට ගැනීම සඳහා ඉරාක රජයේ හමුදා සහ ඒකාබද්ධ හමුදා එකතුව මෙම දැවැන්ත මෙහෙයුම පසුගිය සඳුදා දිනයේදී ආරම්භ කරන ලදී.
ඒ අනුව, මෙම මෙහෙයුම ආරම්භ වූ දින සිට පසුගිය දින කිහිපය තුළ 5,000කට අධික සාමාන්‍ය වැසියන් පිරිසක් දේශසීමා තරණය කරමින් සිරියාව වෙත සංක්‍රමණය වී ඇති බව කියයි.
ඒ අනුව, මෙම පිරිස් අල්-හෝල් සරණාගත කඳවුර වෙත පැමිණෙමින් සිටින බවත්, දැනටමත් දරාගත නොහැකි තරම් සරණාගතයන් ප්‍රමාණයක් රැඳී සිටින හා අපවිත්‍ර පරිසරයක් නිර්මාණය වී ඇති මෙම සරණාගත කඳවුර ඔවුන්ට ප්‍රමාණවත් නොවන බවද විදෙස් නිරීක්ෂණ කණ්ඩායම් පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, තවදුරටත් ලක්ෂ 15ක ජනතාවක් මොසුල් හි සිටින බවට විශ්වාස කරන අතර, 5,000ක පමණ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් පිරිසක්ද සිටින බව ආරක්ෂක අංශ තහවුරු කරයි.