මෙක්සිකෝවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් දින දෙකකට පසුවත් සුන්බුන්වලට යටවූවන් බේරාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බව විදෙස් වාර්තා පවසයි.
රික්ටර් පරිමාණ 8.1ක ප්‍රබල භූ කම්පනයක් ලෙස එරට දකුණුදිග වෙරළ තීරයට බලපෑ මෙම භූ කම්පනයෙන් මේ වනවිට පුද්ගලයන් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නිල දත්ත පෙන්වයි.
එමෙන්ම, භූ කම්පනය හේතුවෙන් තවත් 200ක් පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ජනපති එන්රීක් පෙනා නීටෝ විසින් ශෝක දිනයක්ද ප්‍රකාශයට පත්කර තිබුණි.
භූ කම්පනයෙන් වැඩිම හානියක් වූ පළාත් ලෙස සැලකෙන ටබාස්කෝ, ඔඇක්සකා සහ චියාපාස් හි සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදුවන අතර, වඩාත් ප්‍රබල හානියක් සිදුවූ ජූචිටාන්, ඔඇක්සකා යන නගරවල මෙහෙයුම් සඳහා අමතර භට පිරිස් හා මුදාගැනීමේ කණ්ඩායම් යොමුකර ඇති බවද විදෙස් වාර්තා පවසයි.
2015 සැප්තැම්බර් මාසයෙන් පසුව ලොව ඇති වූ ප්රබලතම භූ කම්පනය ලෙස මෙය හැඳින්විය හැකි වුවත්, භූ කම්පනයේ අපිකේන්ද්‍රය පොළෝ මට්ටමින් කිලෝමීටර් 70ක් පමණ ගැඹුරින් සිදුවූ නිසා එහි කම්පන තරංග භූ තලය මතුපිටදී තරමක ප්‍රබලත්වයෙන් අඩුවීම සිදුවීමට ගිය හානිය අවම කර තිබේ.
භූ කම්පනයෙන් පීඩා විඳී මෙක්සිකෝව දෙසට කටීනා සුළි කුණාටුවද පැමිණ තිබුණත්, පසුව එහි සුළං වේගය අඩුවීම නිසා සිදුවීමට ගිය තවත් විනාශයක් අවම වී තිබේ.
කෙසේ වෙතත්, මෙය දැනට නිවර්තන කුණාටුවක මට්ටමේ පවතින බැවින් වෙරාකෘස් පළාත ආශ්‍රිතව තරමක සුළං සහ වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ අංශ පවසයි.