මෙක්සිකෝවේ දකුණුදිග වෙරළ තීරයට බලපෑ ප්රබල භූ කම්පනය හේතුවෙන් සිදුවූ ගොඩනැගිලි කඩා වැටීම් නිසා පුද්ගලයන් 61 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නිල තොරතුරු වාර්තා කරයි.
මෙක්සිකෝවේ භූ කම්පනයෙන් දැඩි බලපෑමක් එල්ල වූ ටබාස්කෝ, ඔඇක්සකා සහ චියාපාස් යන පළාත් වෙත ගොඩනැගිලි රැසක් සුන්බුන් බවට පත්ව ඇති අතර, එම පළාත්වල ජනතාව මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවන බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර, මෙක්සිකෝ ජනපති පීනා නීටෝ පවසා සිටියේ මෙම භූ කම්පනය හේතුවෙන් තවත් 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.
රික්ටර් පරිමාණ 8.1ක් ලෙස ඊයේ (08දා) ඇති වූ භූ කම්පනය ශතවර්ෂයක කාලයක් තුළ එම කලාපයට බලපෑ ප්රබලතම භූ කම්පනය ලෙසද හඳුනාගෙන තිබේ.
එමෙන්ම, අද දිනය ශෝක කාලයක් ලෙස නම් කර ඇති අතර, භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත්වූ හා අතුරුදන් වූවන් වෙනුවෙන් ගෞරව දැක්වීමක් ලෙස සියලු ස්ථානයන්හි ජාතික ධජය අඩකුඹු කරන ලෙසද දන්වා තිබේ.
මියගිය පිරිසෙන් 45ක් ඔඇක්සකා පළාතෙන්, 12ක් චියාපාස් පළාතෙන්, තවත් 4ක් ටබාස්කෝ පළාතෙන් වාර්තා වී තිබේ.
එහිදී, ඔඇක්සකා පළාතේ, ජූචිටාන් නගරයේ පමණක් ජීවිත හානි 17ක් සිදුව ඇති අතර, නගර ශාලාව ඇතුළුව නගරයේ ප්රධාන ගොඩනැගිලි රැසකට අලාභානි සිදුව ඇති බවද විදෙස් වාර්තා පවසයි.