මිනිසුන් 4ක් මැරූ කොටිදෙන මරන්න අධිකරණ නියෝගයක්
ඉන්දියාවේ, මහාරාශ්ට්ර ප්‍රාන්තයේදී මිනිස් ජීවිත 4ක් බිලිගත් අවුරුදු දෙකක් වයසැති කොටි දෙනක වෙඩිතබා ඝාතනය කිරීමට අධිකරණය විසින් අවසර ලබාදී තිබේ.
ප්‍රාන්ත වනජීවී දෙපාර්තමේන්තුව විසින් පසුගිය ජූනි 23 වැනිදා මෙම කොටිදෙන වෙඩි තබා ඝාතනය කිරීමට විධාන දී තිබුණත්, වන සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පිරිස් ඊට දැඩි විරෝධයක් දක්වා තිබුණි.
මහාරාශ්ට්ර ප්‍රාන්තයේ, බ්රාහ්මපූරි හිදී පුද්ගලයන් දෙදෙනෙකු මරා තවත් කිහිප දෙනෙකුට මාරාන්තික තුවාල සිදුකළ මෙම කොටි දෙන පළමු වරට අල්ලා ගැනීමට හැකිවී තිබුණේ ජූලි මාසයේදීය.
පසුව බෝර් වනෝද්‍යානය වෙත කොටිදෙන නිදහස් කළත්, ඉන් අනතුරුවද එම සත්වයාගේ පහර කෑමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
වන සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පවසා සිටින්නේ මෙම සත්වයා නිර්වින්දනය කර අල්ලා, වනාන්තරයකට මුදාහැරීම වෙනුවට එම සත්වයා මරාදැමීමට කටයුතු කිරීම අතිශය කෘර ක්‍රියාවක් බවයි.
නමුත්, එම පළාතේ ජීවත්වන මිනිසුන් අතර මෙම කොටිදෙන නිසා අනියත බියක් අතිවී තිබෙන බව අධිකරණය හමුවේ කරුණු තහවුරු කිරීමෙන් පසුව එම සත්වයා මරා දැමීමට නියෝග ලබාදී තිබේ.
ඉන්දියාවේ වනාන්තර පෙදෙස් ජනාවාස වීමත්, එම සතුන්ගේ වාසභූමි මිනිසුන් විසින් අත්පතර කැරගැනීමත් නිසා මේ ආකාරයෙන් වන සතුන් හා මිනිසුන් අතර ගැටුම් නිතර අසන්නට ලැබෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

