ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුගේ කන් කුහරය තුළට රිංගා සිටි කෘමියෙකු ඉන් ඉවත් කළ බවත්, එදාමෙදා තුර මිනිස් කනකින් තමන් ඉවතටගත් මේ ලොකුම කෘමියා කැරපොත්තෙකු බවත් ඔස්ට්‍රේලියානු වෛද්‍යවරු පවසති.
ඔස්ට්‍රේලියානු මාධ්‍ය උපුටා දක්වමින් මේ පුවත වාර්තා කරන බී.බී.සී.ය පෙන්වා දෙන්නේ එම කැරපොත්තා සෙන්ටිමීටර් 2 කට වඩා විශාලත්වයකින් යුතු වූ බවයි.
මෙම අකරතැබ්බයට මුහුණදුන් හෙන්ඩ්‍රික් හෙල්මර් නමැති ඔස්ට්‍රේලියානු ජාතිකයා උදෑසන අවදිවන විට ඔහුගේ කනෙන් දරාගත නොහැකි බලවත් වේදනාවක් ඇති වී තිබේ. තම කන් කුහරය තුළ යම් කෘමියෙකු ඇති බව සිතූ හෙන්ඩ්‍රික් කුඩා වැක්යුම් ක්ලීනරයක් යොදාගනිමින් හා කන තුළට වතුර දමමින් එය ඉවතට ගැනීමට උත්සාහ කළත් ඒ උත්සාහයන් ව්‍යර්ථ වී තිබේ.
අවසානයේදී ඔහුව වහාම රෝහලට ඇතුළත් කර තිබුණු අතර, එහිදී ඔහුගේ කන් කුහරය පරීක්ෂා කළ වෛද්‍යවරු ඒ තුළ කැරපොත්තෙකු සිටින බව හඳුනාගෙන, කන් කුහරය තුළදීම කැරපොත්තා මරා දමා, කුඩා වෛද්‍ය අඬුවකින් මියගිය කෘමියා ඉවතට ගෙන තිබේ.
කෙසේ වෙතත් හෙන්ඩ්රික්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරු පවසා ඇත්තේ ඔවුන් එදාමෙදා තුර මිනිස් කනකින් මෙතරම් විශාල කෘමියෙකු ඉවතට ගෙන නොතිබුණු බවයි.