මැලේසියාවේ ක්වාලලම්පූර් අගනුවර ආගමික පාසලක සිදුවූ හදිසි ගිනි ගැනීමකින් ජීවිත හානි 25ක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම හදිසි ගින්නෙන් ජීවිතක්ෂයට පත්වූවන් අතර එම පාසලේ ඉගෙනුම ලැබූ සිසුන් සහ ගුරුවරුන් සිටින බව පැවසෙයි.
ක්වාලලම්පූර් නුවර ජලාන් ඩාටුක් කෙරාමත් ප්‍රදේශයේ පිහිටි ආගමික පාසලක අද උදෑසන කාලයේදී මෙම ගින්න හටගෙන තිබේ.
මෙම පළාතේ ගිනි නිවන හා මුදාගැනීමේ ඒකකයේ ප්‍රධානියා පවසන්නේ සිසුන් සහ ගුරුවරුන් 23 දෙනෙකුගේ මරණ මේ වනවිට තහවුරු වී ඇති බවයි.
කෙසේ වෙතත්, ඔවුන්ගේ වයස් මට්ටම් හෝ ඔවුන් පිළිබඳ වැඩි විස්තර ලබාදී නොමැත.
මෙම ආගමික පාසල් කුරානය ඉගැන්වීම සඳහා ළමයින් ඇතුළත් කරන අතර, එහිදී සාමාන්‍යයෙන් වයස අවුරුදු 5 සිට 18 දක්වා සිසුන් එවැනි පාසල් වෙත ඇතුළත් වන බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
පසුගිය දශක දෙකකට ආසන්න කාලයේදී මැලේසියාවේ සිදුවූ අතිශය ඛේදජනක ගිනි ගැනීමක් ලෙස බලධාරීහු මෙය හඳුන්වති.
මෙම ගින්නට ගොදුරු වූ තවත් සිසුන් පිරිසක් රෝහල්ගත කර ඇති බවත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.