පැපුවා නිව් ගිනියා, මානූස් දූපත් සරණාගත කඳවුර වසා දැමීමට හෙට (31දා) දිනයේ සිට කටයුතු කිරීමත් සමග එහි සිටින සරණාගතයන් සම්බන්ධයෙන් වූ සම්පූර්ණ වගකීම ඔස්ට්‍රේලියානු රජය දැරිය යුතු යැයි පැපුවා නිව්ගිනියාව පවසයි.
2012 වසරේ සිට මානූස් සරණාගත කඳවුර ඔස්ට්‍රේලියාව බලා අනවසරයෙන් සංක්‍රමණය වන සරණාගතයන් රඳවන කඳවුරක් බවට පත්කරනු ලැබුවේ ඔස්ට්‍රේලියානු රජය විසිනි.
කෙසේ වෙතත්, මින් ඉදිරියට මෙහි සිටින සරණාගතයන්ට මෙන්ම, සරණාගතයන් නොවන පිරිසටද තවදුරටත් එහි රැඳී සිටීමට අවසර ලබාදිය නොහැකි බව පැපුවා නිව් ගිනියාව පවසයි.
කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාව පවසන්නේ කඳවුරේ සිටින කිසිවෙකුත් යළිත් ඔස්ට්‍රේලියානු භූමිය වෙත ගැනීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
ඔස්ට්‍රේලියාව වෙත බෝට්ටු මගින් පැමිණි සරණාගතයන් රැඳවීම සඳහා ඔවුන් මානූස් දූපත් සහ පැසිෆික් නවුරූ දූපත් භාවිත කළ අතර, මෙය මිනිස් ජවාරම් වැළැක්වීමේ සහ මුහුදු මගින් පැමිණීමේදී සිදුවන මරණ අඩුකිරීමේ පියවරක් ලෙස ගත් බවද ඔවුහු කීහ.
කෙසේ වෙතත්, සරණාගත අර්බුදයට මෙය සාධාරණ හෝ යෝග්‍ය විසඳුමක් නොවන බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දුන් අතර, මෙම කඳවුරු තුළදී සරණාගතයන් විවිධ වද බන්ධනයන්ට ලක්වූ බව ඔවුහු පවසති.