මයිකල් ජැක්සන්ගේ නැගණිය මෙන්ම, ජනප්‍රිය ගායිකා ජැනට් ජැක්සන් වයස අවුරුදු 50 දී ප්‍රථම වරට දරු සම්පතක් බලාපොරොත්තුවෙන් සිටින බව ඇය විසින්ම තහවුරු කර තිබේ.
ජැනට් පැවැත්වූ 'අන්බ්රේකබල්' ප්‍රසංග මාලාව පසුගිය අප්‍රේල් මාසයේදී හදිසියේ කල්දැමීමත් සමග ඇය ගැබ්ගෙන ඇති පුවත ක්‍රමයෙන් කරළියට පැමිණියේය.
එහිදී, ජැනට් පවසා තිබුණේ ස්වාමියා වූ විසාම් අල් මානා සමග තම පවුලේ ඉදිරි සැලසුම් සඳහා වැඩි අවධානයක් යොමුකළ නිසා එම ප්‍රසංග මාලාව කල්දැමූ බවයි.
එමෙන්ම, ඇය මෑතකදී ලන්ඩන් නුවර බිළිඳු ආම්පන්න සහිත වෙළෙඳ සැල් කරා යමින් එකී ආම්පන්න මිලදී ගත් බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ජැනට්ගේ පවුලට සම්බන්ධ සමීපතමයෙකු උපුටා දක්වමින් පීපල්ස් සඟරාව පවසා තිබුණේ, මේ සිදුවීමෙන් ඇය අතිශය සතුටකට පත්ව සිටින බවය. එමෙන්ම, ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවත්, සියල්ල සම්බන්ධයෙන් ඇය හොඳ මානසිකත්වයකින් පසුවන බවත් එහි වැඩිදුරටත් සඳහන් විය.
පසුගිය අප්‍රේල් මාසයේදී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය සිය රසිකයන්ට පවසා තිබුණේ, හදිසි වෙනස්කමක් හේතුවෙන් ප්‍රසංග මාලාව කල්දැමීමට සිදුවූ බවයි.
"මම හිතන්නෙ මේ කාරණය ඔබ මුලින්ම දැනගැනීම වැදගත්. මගේ ස්වාමි පුරුෂයාත් මමත් අපේ පවුලේ කටයුතු සැලසුම් කරමින් සිටිනවා. මේ මොහොතේ මා කළ යුතු කාර්යයේ වැදගත්කම තේරුම් ගැනීමට පුළුවන් නම් ඔබ උත්සාහ කරන්න"
"මොකද, වෛද්‍ය උපදෙස් මත, මට විවේක ගන්න සිදුව තිබෙනවා" යැයි ඇය එදා සිය ට්විටර් ගිණුමෙහි පවසා තිබුණි.