මත්ද්‍රව්‍යවලට එරෙහිව තමාද හිට්ලර් කෙනෙකු බවත්, එදා යුදෙව්වන්ට එරෙහිව හිට්ලර් ක්‍රියාකළා සේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව තමාගේ ව්‍යායාමය ඉදිරියටත් සිදුකරන බව පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩුටාර්ටේ අවධාරණය කරයි.
ජර්මනියේ හෝලොකොස්ට් ඝාතනවලට සිය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සමාන කළ පිලිපීන නායකයා, ඇඩොල්ෆ් හිට්ලර් යුදෙව්වන් මරා දැමුවා සේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා ඇබ්බැහි වූවන් හැකිතරම් ප්‍රමාණයක් මරා දමන බව පවසා ඇත.
"ඇඩොල්ෆ් හිට්ලර් යුදෙව්වන් මරා දැමුවා... මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවනුත් තිස් ලක්ෂයක් ඉන්නවා... ඔවුන් මරා දමන්න මා පසුබට වන්නේ නෑ..." ඩුටාර්ටේ අවධාරණය කර ඇත.
එදා ජර්මනියේ නාසි හමුදාව විසින් යුදෙව්වන් හා වෙනත් සුළු ජාතීන් ලක්ෂ හැටක් පමණ ඉතා අමානුෂික ලෙස ඝාතනය කළ බව නොරහසකි.
පිලිපීන ජනාධිපතිවරයාද බලයට පත්වූයේ පිලිපීනය වෙලාගෙන ඇති මත්ද්‍රව්‍ය ජාවාරමට තිත තබන බවට සිය මැතිවරණ පොරොන්දුව ඉදිරියේ තබමිනි. ඒ ආකාරයෙන්ම, ඔහු බලයට පත්වූදා සිට පිලිපීනයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා ඇබ්බැහි වූවන් රැසක් මහමග ඝාතනය වී තිබුණි.
කෙසේ වෙතත්, පිලිපීන ජනාධිපතිවරයාට එරෙහිව මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ඇමෙරිකාව ප්රමුඛ බටහිර ජාතීන් විසින් විවේචනයක් එල්ල කරන්නේ ඔහු සමූල ඝාතකයෙකු ලෙස පවසමිනි. නමුත්, ඩුටාර්ටේ පවසන්නේ, තමා ජනසංහාරයක යෙදෙන බවට චෝදනා කරන්නන්ව විවේචනය කිරීම හේතුවෙන් තමාව 'හිට්ලර්ගේ ඥාති සහෝදරයෙකු' ලෙස හුවා දැක්වීමට ඔවුන් කටයුතු කරන බවයි.
කටින් නොව ක්‍රියාවෙන්ම මත්ද්‍රව්‍ය උවදුරට තිත තබමින්, පිලිපීනයේ අනාගත පරපුරට මතින් තොර රටක් නිර්මාණය කරදෙන බව ඩුටාර්ටේ වැඩිදුරටත් අවධාරණය කරයි.