මීට වසරකට පෙර අවසන් ගමන්ගිය තායිලන්තයේ භූමිබෝල් අදුල්යාදේජ් රජතුමාගේ ආදාහන පූජෝත්සවය විශාල ජන සහභාගීත්වයකින් ඊයේ (26දා) බැංකොක් නුවරදී පැවැත්විණි.
හමුදා ගෞරව සහ තුර්ය වාදන කණ්ඩායම්වල සංගීත හඬ මැද සංකේතාත්මක අවමංගල්‍ය මංජුසාව රැගත් රථය ආදාහනගාරය වෙත ළඟා වූයේ දින පහක් පුරා පැවති අවමංගල්‍ය උත්සවයේ ප්‍රධාන අංගයක් ලෙසිනි.
තායිලන්ත ජනතාවගේ හදවතේ රජු යන විරුධාවලිය ලැබූ භූමිබෝල් රජු 2016 ඔක්තෝබර් මාසයේදී මෙළොවින් සමුගත්තේ 88 වැනි වියෙහිදීය.
අවමංගල්‍ය උත්සවය රාජකීය මාලිගයේදී පසුගිය බදාදා නිල වශයෙන් ආරම්භ කෙරුණේ බෞද්ධ ආගමික චාරිත්‍ර වාරිත්‍රවලට මුල් තැනක් දෙමිනි. එමෙන්ම, අවමංගල්‍ය පෙරහර ආරම්භ කිරීම සිදුවූයේද රාජකීය මාලිගය තුළදී පැවති ආගමික වතාවත්වලින් පසුවය.
රජුගේ දේහය සහිත රාජකීය චිතකය ඔහුගේ පුත් සහ වත්මන් තායිලන්ත රජු විසින් ගිනි දැල්විණි.
ලොව වැඩිම කාලයක් සිහසුන දැරූ රාජ්‍ය පාලකයා ලෙස ඉතිහාසයට එක්වූ භූමිබෝල් රජුට ගෞරව දැක්වීමක් වශයෙන් මාර්ග දෙපස රැස්ව සිටි ජනතාව කළු පැහැති ඇඳුම්වලින් සැරසී සිටියහ.
තායිලන්ත ව්‍යවස්ථාවට අනුව රාජකීයත්වයට සීමිත බලයක් හිමිව තිබුණද, බොහෝ තායිලන්ත ජාතිකයන් භූමිබෝල් රජු දේවත්වයෙන් සැලකූහ.