ඉස්ලාමීය අන්තවාදී බොකෝ හරාම් ත්‍රස්ත කණ්ඩායම පසුගිය අප්‍රේල් මාසයේදී නයිජීරියානු පාසල් සිසුවියන් 200කට වැඩි පිරිසක් පැහැරගැනීමේ සිදුවීමත් සමග එම ත්‍රස්ත කණ්ඩායමෙන් එල්ලවන බලපෑම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආරක්ෂක සමුළුවක් ප්‍රංශයේ පැරිස් නුවරදී ආරම්භ විය.
නයිජීරියානු ජනාධිපති ගුඩ්ලක් ජොනතන් මෙම සාකච්ඡාවට සහභාගි වන අතර, බොකෝ හරාම් ත්‍රස්තවාදය පැතිර පවතින බටහිර අප්‍රිකානු රාජ්‍යයන් කිහිපයක නියෝජිතයන්ද මෙම සමුළුවට සහභාගි වෙයි.
මේ අතර, බොකෝ හරාම් ප්‍රහාරයක් කැමරූන් ආශ්‍රිතව සිදුව ඇති බවටද වාර්තා වන අතර, මෙහිදී පුද්ගලයන් දස දෙනෙකු අතුරුදන්ව තිබේ.
මේ අතර, සටන්කාමීන් චීන සමාගමකට අයත් වැඩ බිමකටද ප්‍රහාරයක් එල්ල කිරීම නිසා චීන ජාතිකයෙකුද තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. එමෙන්ම අතුරුදන් වූ පුද්ගලයන් දස දෙනාද එම චීන සමාගමේ සේවය කළ අය බව පැවසෙයි.
මීට පෙර පාසල් සිසුවියන් සියයකගේ පමණ වීඩියෝවක් නිකුත් කරමින් බොකෝ හරාම ත්‍රස්ත නායකයා කියා සිටියේ ඔවුන් නිදහස් කිරීමට නම් අත්අඩංගුවේ පසුවන සියලු බොකෝ හරාම් ත්රස්තයන් නිදහස් කළ යුතු බවය.
නමුත්, නයිජීරියානු රජය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
එමෙන්ම, පැහැරගත් දරුවන් අතර ක්‍රිස්තියානි දරුවන්ද සිටි අතර, ඔවුන් මේ වනවිටත් ඉස්ලාම් වෙත හරවා ඇති බවද බොකෝ හරාම් ත්‍රස්ත නායකයා පවසා සිටී.