පිලිපීනයේ, මැනිලා අගනුවර ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර පොලිස් රථයක් පැමිණීමත් දරුණු කලහකාරී තත්ත්වයක් ඇති වී තිබුණි.
පොලිස් රථයට විරෝධතාකරුවන් පහරදීමත් සමග පොලිස් රථය විරෝධතාකරුවන් යට කරමින් ධාවනය කිරීමට උත්සාහ කර තිබූ අතර, එහිදී පුද්ගලයන් කිහිප දෙනෙකුම තුවාල ලබා තිබුණි.
පිලිපීනය තුළ සිටින ඇමෙරිකානු හමුදා ඉවත් කරගත යුතු බවට බල කරමින් මෙම දැවැන්ත විරෝධතාව ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පවත්වා තිබුණි.
පොලීසිය හා තානාපති කාර්යාලය තුළ සිටි ඇමෙරිකානු හමුදා සෙබලු පිරිසකට රතු තීන්ත ප්‍රහාරයක් එල්ල කළ විරෝධතාකරුවන් පිරිසක් පසුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළ බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, අවසානයේදී කලහකාරී ලෙස හැසිරුණු පිරිස් පාලනය කරගැනීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කර තිබුණු අතර, ජල බවුසර්ද යොදා ගනිමින් පිරිස් පාලනය කර තිබුණි.
කෙසේ වෙතත්, සිද්ධියෙන් කොතරම් පිරිසක් තුවාල ලැබුවේද යන්න පැහැදිලි නොමැති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
පිලිපීන නව ජනාධිපති ඩුටාර්ටේ විසින් මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ට හා භාවිත කරන්නනට එරෙහිව ගෙනයන ප්‍රහාර මාලාවට ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල විරෝධය නිසා ඇමෙරිකාව සමග වූ පිලිපීන සබඳතා මේ වනවිට බිඳ වැටී තිබේ.
මේ තත්ත්වය තුළ පසුගියදා පිලිපීන ජනාධිපතිවරයා චීනයේ සංචාරයක නිරත වෙමින් චීනය සමග නව සබඳතා ගොඩනගා ගැනීමේ වැදගත්කමද පැහැදිලි කළේය.