පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ව, මන්ත්රීවරුන් විසින් ලිංගික අඩන්තේට්ටම්වලට ගොදුරු කරගැනීම බොහෝ සේ ඉහළ ගොස් ඇති බව අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) පෙන්වා දී තිබේ.
අන්තර් පාර්ලිමේන්තු සංගමය ලොව පුරා පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ජගත් සංවිධානය ලෙස සැලකෙන අතර, එහි නිගමනයන් ඇතුළත් කරමින් නිකුත් කරනු ලැබූ නවතම වාර්තාවක මෙම තොරතුරු ඇතුළත් වන බව විදෙස් වාර්තා පවසයි.
එහිදී, විශේෂමෙන්ම අප්රිකාව, ආසියාව, යුරෝපය, ඇමෙරිකානු කලාපය සහ අරාබි රටවල පාර්ලිමේන්තු මන්ත්රීවරියන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම වාර්තාව සකසා ඇති අතර, එම රටවල මන්ත්රීවරියන් 55 දෙනෙකු මෙම කරුණු විමසීමට බඳුන් වී තිබේ.
ඒ අනුව, මෙම මන්ත්රීවරියන් 55 දෙනා අතරින් 80% කට වැඩි පිරිසක්, තමන් මන්ත්රීවරුන්ගේ මානසික හෝ ලිංගික අතවරවලටත්, ඇතැම් අවස්ථාවන්වලදී ප්රචණ්ඩත්වයට පවා ලක් වන බව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ නියෝජිතයන් වෙත ප්රකාශ කර තිබේ.
විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේදී මන්ත්රීවරුන්ගෙන් එල්ලවන නුසුදුසු වචන මන්ත්රීවරියන් සුලභව ගොදුරුවන කාරණයක් බවද එම වාර්තාව පෙන්වා දී තිබේ.
අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාර්ටින් චුන්ගොන්ග් බී.බී.සී.ය වෙත පවසා තිබුණේ, මෙවැනි තත්ත්වයක් තුළ මහජන නියෝජිතවරියන් වෙත පැවරෙන කාර්යභාරය නිසි පරිදි ඉටුකිරීම ඔවුන්ට අතිශය දුෂ්කර විය හැකි බවයි.