පාකිස්තාන කිම් කාඩෑෂියන් යන විරුධාවලිය ලැබූ එරට අන්තර්ජාල තරුවක් බවට පත්ව සිටින කැන්ඩීල් බලේෂ් ආරක්ෂක හේතූන් මත රට හැර යෑමට සූදානමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
කාන්තාවන් බාහිර සමාජයෙන් බොහෝ සේ වසන්ව සිටිය යුතු මෙන්ම, වැඩිදෙනෙකුට තමන් විවාහ වන්නේ කා සමගද යන්න නිදහසේ තෝරාගැනීමට අස්ථාවක් නැති සමාජ වටපිටාවක 25 වැනි වියෙහි පසුවන නිරූපිකාවක් වන ඇය එරට තුළ වඩාත් කතාබහට ලක්වූයේ අතිශය අනුරාගී සෙල්ෆී ඡායාරූප හා වීඩියෝ දසුන් සමාජජාල හා අන්තර්ජාලය තුළ නිතර ප්‍රසිද්ධ කරන්නියක ලෙසිනි.
කෙසේ වෙතත්, මෑතකදී ඇය එරට ප්‍රකට ආගමික පඬිවරයෙකු වූ මුෆ්ටි අබ්දුල් ක්වායි සමග සිටින සෙල්ෆී ඡායාරූපයක් අන්තර්ජාලයට මුසු කිරීමත් සමග එරට ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් අබ්දුල් ක්වායිගේ රුඑට්-ඊ-හිලාල් කමිටු සාමාජිකත්වයද අත්හිටුවීය. එම කමිටුව එරට තුළ නව සඳ බැලීම ප්‍රකාශයට පත්කරන විශේෂ ආගමික කමිටුවක් ලෙස සැලකෙයි.
මේ තත්ත්වය තුළ කැන්ඩීල් බලේෂ්ටද එරට තුළ පැවති තර්ජන බලවත් වී ඇති බවත්, මෙය තමාගේ ආරක්ෂාව පිළිබඳ ඉක්මණින් පියවරක් ගත යුතු අවස්ථාවක් බවත් ඇය මාධ්‍යයට පවසා තිබේ.
"මා දන්නා තරමින් මට ආරක්ෂාවක් නොලැබෙන බව පැහැදිලියි. ඒ වගේම මට ආරක්ෂාකාරී හැඟීමක් ඇතිවන්නේත් නෑ. ඒ නිසා ඊද් උත්සවයෙන් පසුව මගේ දෙමවුපියන් සමග රට හැර යෑමට මා තීරණය කළා" යැය ඇය මාධ්‍යයට පවසා ඇත.
කැන්ඩීල් බලේෂ් ඉන්දීය ක්‍රිකට් තරුවක් වන විරාත් කෝලි පිළිබඳ බොහෝ උනන්දුවක් දක්වන්නියක් වන අතර, කෝලි පිළිබඳව වූ ඇගේ හැඟීම් ප්‍රකාශ කරන මාධ්‍යයක් ලෙසද ඇය අන්තර්ජාලය යොදාගන්නා බව ප්රකටය.