එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගාසා තීරයේ පාසලක පවත්වාගෙන යනු ලබන අනාථ කඳවුරකට එල්ල වූ ඊශ්‍රායල් ප්‍රහාරයකින් පුද්ගලයන් 10 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව කියැවෙයි.
මේ වනවිට ගැටුම් හේතුවෙන් අවතැන්ව සිටින පලස්තීන වැසියන් දහස් ගණනින් සිටින මෙම පාසල් ගොඩනැගිල්ලේ පිවිසුමට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලය කිසිවක් ප්‍රකාශ නොකළත්, සටන් විරාම බිඳ වැටීමෙන් පසු ඔවුන් නැවත ගාසා තීරය වෙත ප්‍රහාර එල්ල කිරීම අරඹා තිබේ.
ගාසා තීරයෙන් ඊශ්‍රායල් හමුදා වැඩි පිරිසක් ඉවත්ව ඇති බව එරට මාධ්‍ය කියා සිටියත්, ඔවුන්ට ඉවත් වන ලෙස නිල වශයෙන් ප්‍රකාශයක් වාර්තා නොවීමද විශේෂත්වයකි.
කෙසේ වෙතත් එරට හමුදා ප්‍රකාශකවරයා පවසන්නේ ඔවුන්ගේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක වන බවත්, ගොඩබිම් මෙහෙයුම්ද සිදුවන බවයි.
ගාසා රෝහල් ආරංචි මාර්ග පෙන්වාදෙන පරිදි අද දිනයේ ජීවිත හානි 30ක් වාර්තා වෙයි.
මේ අතර, හමාස් සටන්කාමීන්ද ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ල කිරීම අරඹා තිබේ.
එමෙන්ම, හමාස් සංවිධානය පැහැරගත් බව පැවසූ හාඩර් ගෝල්ඩන් සෙබලා ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායලය අද පැවසීය. මෙම සොල්දාදුවාද ගාසා තීරයේ නවතම ගැටුම් උත්සන්න වීමට හේතුවක් විය.
ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල තොරතුරු අනුව ගැටුම් හේතුවෙන් ගෙවීගිය සති තුනක කාලය තුළ පලස්තීන ජාතිකයන් 1,740ක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එමෙන්ම, 9,080ක් තුවාල ලබා තිබේ.