නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරයේ සංගීත ප්රසංගයක් අසල ප්රහාරයකට සූදානම් සකසා තිබූ ගෑස් ටැංකි පුරවාගත් වෑන් රථයක් අත්අඩංගුවට ගැනීමට එරට පොලීසිය සමත්ව තිබේ.
ස්පාඤ්ඤ් බුද්ධි අංශ වෙතින් ලැබුණු තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
ස්පාඤ්ඤයේ ලියාපදිංචි කර ඇති මෙම වෑන් රථයේ රියදුරු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.
ඇමෙරිකාවේ රොක් සංගීත කණ්ඩායමක් වන අලාහ්-ලාස් සංගීත කණ්ඩායම මෙම ප්රසංගයේ ගී ගැයීමට සූදානම් සිට ඇති අතර, මෙම සංගීත කණ්ඩායම වෙතද නිරන්තර තර්ජනය කිරීම් පැමිණ ඇති බවද අනාවරණය වෙයි.
මෙම සංගීත කණ්ඩායමේ නම මුස්ලිම් ආගම හා යම් සමානකමක් දැක්වීම හේතුවෙන් ඔවුන් මේ ආකාරයෙන් ජිහාඩ් අන්තවාදීන්ගේ තර්ජනයන්ට නිරන්තරයෙන් මුහුණ පෑමට සිදුවන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මේ සියලු සිද්ධි සලකා බලා අවසන් මොහොතේ සංගීත ප්රසංගය අවලංගු කිරීමට එහි සංවිධායකයන් මෙන්ම, ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
මෙම වෑන් රථය තුළ තිබී වෙඩි නොවදින ඇඳුමක් සොයාගෙන ඇති අතර, මෙය පසුගිය සතියේ ස්පාඤ්ඤයේදී පුද්ගලයන් 15 දෙනෙකුට මරු කැඳවමින්, තවත් 100කට පමණ තුවාල සිදුකරමින් බාසිලෝනා නුවරදී සිදුවූ ත්රස්ත ප්රහාර හා සම්බන්ධතාවක් නොමැති බවද විශ්වාස කෙරෙයි.