නිව්යෝක් හි මෑන්හැට්න් නුවරදී ට්‍රක් රථයකට හප්පා පුද්ගල ජීවිත 8ක් අහිමි කිරීම සම්බන්ධයෙන් උස්බකිස්ථානයෙන් ඇමෙරිකාවට සංක්‍රමණය වූ ජිහාඩ් ත්රස්තවාදියාට ඇමෙරිකානු අභිචෝදකයන් චෝදනා ගොනුකර තිබේ.
සෙයිෆුල්ලෝ සයිපෝව් නමැති 29 හැවිරිදි මොහුට එරෙහිව IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සහාය දැක්වීම සම්බන්ධයෙන්ද චෝදනා ගොනුවී තිබේ.
අඟහරුවාදා සවස නිව්යෝක් නගරයේදී සිදුවූ මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසුව මෙම පුද්ගලයා වෙඩි තබා අත්අඩංගුවට ගැනීමට නිව්යෝක් පොලීසිය සමත්විය.
ලෝවර් මෑන්හැට්න් ප්‍රදේශයේ පාපැදි මාර්ගයක් වෙත මෙම ට්‍රක් රථය ධාවනය කරමින් එහි පාපැදි ධාවනයේ යෙදෙමින් සහ පයින් ගමන් කරමින් සිටි පිරිසක් ඊට හප්පා ඝාතනය කිරීම මෙම ත්‍රස්ත ප්‍රහාරයේ සැලසුම වී ඇත.
මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් එම ස්ථානයේදීම පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් දෙදෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබුණි.
තවත් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා සිටි බවත්, ඉන් 9 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝහ්ල ආරංචි මාර්ග පවසයි.
මෙම ත්රස්තවාදියා මීට මාස දෙකකට පෙර මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති අතර, හැලෝවින් සැමරුම් දිනයන් ඔහු තම ප්‍රහාරය සඳහා යොදාගෙන ඇත්තේ වීදිවල වැඩි පිරිසක් ගැවසෙන බැවිනි.
IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ ධජයක් ඝාතනයට යොදාගත් ට්‍රක් රථයේ ප්‍රදර්ශනය කිරීම ඔහුගේ අභිප්‍රාය වී තිබුණත්, ප්‍රහාරයට පෙර තමන් වෙත අවධානයක් යොමුවීම වැළැක්වීම සඳහා ඔහු එය සිදුකර නොමැත.
මේ අතර, ඔහුගේ ජංගම දුරකථනයේ තිබී ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය ප්‍රවර්ධනය කරන ඡායාරූප හා විස්තර ඇතුළුත් සටහන් 90ක් මෙන්ම, අතිශය ම්ලේච්ඡ වීඩියෝ දසුන්ද හමුවී තිබේ.
තමන් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය වෙනුවෙන් වැඩකළ බවත්, ඉරාකයේ සිදුවන මනුෂ්‍ය ඝාතනවලට මුස්ලිම්වරුන් වශයෙන් යමක් කරන ලෙස එම සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදි කළ ඉල්ලීමට තමන් කටයුතු කළ බවත් ඔහු පවසා තිබේ.