නිව්යෝක් නුවර මැන්හැටන් ප්‍රදේශයේ සිදුවූ පිපිරීම ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, එයට විදෙස් ත්‍රස්ත කණ්ඩායමක සබඳතාවක් නොමැති බවත් නිව්යෝක් ආණ්ඩුකාරවරයා පවසයි.
ඊයේ රාත්‍රි සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයන් 29 දෙනෙකු තුවාල ලැබූ අතර, මේ වනවිට තුවාලකරුවන් වැඩි පිරිසක් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ඇති බවද ආණ්ඩුකාරවරයා පවසයි.
මේ අතර, නිව්යෝක් නගරයේ ආරක්ෂාවට අමතර 1,000ක බලකායක් යොදවා ඇති අතර, ඔවුන් බස් නැවතුම්පොළ, උමං දුම්රිය මාර්ග ආශ්‍රිතව මුර සංචාර සිදුකරනු ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.
මේ වනවිට තත්ත්වය සමතයකට පත්ව ඇති නිසා තම එදිනෙදා කටයුතු සුපුරුදු පරිදි සිදුකරන ලෙසද නිව්යෝක් වැසියන්ගෙන් ආණ්ඩුකාරවරයා ඉල්ලා තිබේ.
මෙම බෝම්බ පිපිරීම අනිවාර්යයෙන්ම ත්‍රස්ත ක්‍රියාවක් බව පවසන ආණ්ඩුකාරවරයා, එය ත්‍රස්තවාදය යන්නට ඔබ යොදන නිර්වචනය අනුව තීරණය වනු ඇති බවද සඳහන් කරයි. කෙසේ වෙතත්, මෙය ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක ක්‍රියාවක් නොවන බවද ආණ්ඩුකාරවරයා අවධාරණය කරයි.
මෙම පිපිරීමෙන් පසුව ඊට ආසන්න මාර්ගයක තිබියදී තවත් සැකකටයුතු පාර්සලයක් පොලීසිය විසින් සොයාගෙන තිබූ අතර, එහි ප්‍රෙෂර් කුකර් එකක් හා ජංගම දුරකථනයක් සම්බන්ධ කළ සැකකටයුතු උපකරණයක් හමුවී තිබුණි.
කෙසේ වෙතත්, එය පසුව පොලීසිය හා බෝම්බ නිෂ්ක්‍රීය අංශ එක්ව ආරක්ෂිතව ඉවත් කර තිබුණු බවද විදෙස් වාර්තා පවසයි.