(UPDATE) ඇමෙරිකාවේ, නිව්යෝක් නුවර ලෝවර් මෑන්හැට්න් හි පාපැදි මාවතකට ට්‍රක් රථයකින් කඩා වැදුණු ජිහාඩ් ත්‍රස්තවාදියෙකු එල්ල කළ ට්‍රක් රථ ප්‍රහාරයකින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 15 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.
සුදු පැහැති පිකප් වර්ගයේ ට්‍රක් රථයක් (කැබ් රථයක්) මෙම ප්‍රහාරයට යොදාගෙන ඇති පුද්ගලයා 2010 වසරේදී ඇමෙරිකාවට සංක්‍රමණය වූ 29 හැවිරිදි සයිෆුල්ලෝ සයිපෝව් ලෙස හඳුනාගෙන ඇත.
පොලීසිය සිදුකළ වෙඩි පහරින් ප්‍රහාරකයා මෙල්ල කරගෙන ඇති අතර, පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඇමෙරිකානු බලධාරීන් පවසන්නේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.
මෙම රථයේ තිබී IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තවාදීනට අයත් ලියවිලි කිහිපයක් හමුවී ඇති බවද ආරක්ෂක අංශ අනාවරණය කර තිබේ.
කුලියට ගත් පිකප් වර්ගයේ ට්‍රක් රථය මෙම ප්‍රහාරයට යොදාගෙන ඇති මෙම ජිහාඩ් ත්රස්තවාදියා, පසුව පාපැදි හා මගීන් ගමන් කරන මාර්ගය වෙත කඩා වැදී එහි ගමන් කරමින් සිටි සිවිල් වැසියන් යට කරගෙන සිය රථය පදවාගෙන ගොස් තිබේ.
නිව්යෝක් වේලාවෙන් ප.ව. 3.00 පමණ මෙම ප්‍රහාරය සිදුව ඇති අතර, අවසානයේදී මෙම ට්‍රක් රථය පාසල් බස් රථයක ගැටී නැවතී තිබේ. එම බස් රථයේ ගමන් කළ වැඩිහිටියන් දෙදෙනෙකු හා දරුවන් දෙදෙනෙකුද එම අනතුරින් තුවාල ලබා ඇත.
පසුව සිය දෑතින්ම තුවක්ක දෙකක් රැගෙන ට්‍රක් රථයෙන් බැස ඇති මෙම ප්‍රහාරකයා, 'අල්ලාහු අක්බර්' යනුවෙන්ද, 'නොනවත්වා ත්‍රස්ත ප්‍රහාර එල්ල කරනවා' යනුවෙන්ද කෑමොර දී තිබේ.
මේ සමගම එම ස්ථානයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙකු මොහුගේ බඩට වෙඩි තබා ඔහු මෙල්ල කරගෙන ඇති අතර, සිද්ධිය වූ ස්ථානයේ තිබී කුඩා ගිනි අවි දෙකක්ද ආරක්ෂක අංශ භාරයට පත්ව ඇත.
ෆ්ලොරීඩාවේ ජීවත් වන සැකකරු පසුව රෝහල්ගත කර ඇති අතර, නිව්යෝක් නගරාධිපති බිල් ඩි බ්ලාසිඕ පවසා සිටියේ මෙය අහිංසක සාමාන්‍ය වැසියන් ඉලක්ක කළ බියගුළු ප්‍රහාරයක් බවයි.
මෙම ම්ලේච්ඡ ප්‍රහාරය සැලවූ සැණින් ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ, 'නිව්යෝක් නගරයේ ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූවන්ටත්, ඔවුන්ගේ පවුල්වලට අයටත් මගේ බලවත් ශෝකය මා පළ කර සිටිනවා. ඒ වගේම ඔවුන් වෙනුවෙන් යාඥා කරනවා. දෙවියන් සහ ඔබේ දේශය ඔබ සමගයි..!' යනුවෙනි.