නයිජීරියානු ආරක්ෂක අංශ විසින් රජයට අවශ්‍ය අතිශය භයානකම බොකෝ හරාම් ත්රස්තයන් 100 දෙනෙකුගේ ඡායාරූප ලැයිස්තුවක් ප්‍රසිද්ධියට පත්කොට ඇත.
එරට හමුදාව හදිසි ඇමතුම් අංකයක්ද ලබාදෙමින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මොවුන් පිළිබඳ තොරතුරුක් වෙතොත් දන්වන ලෙසයි.
නයිජීරියාවට හිසරදයක් වී ඇති ඉස්ලාමීය අන්තවාදය මුලිනුපුටා දැමීමේ අරමුණින් එරට හමුදාව මෙම පියවර ගෙන තිබේ.
පසුගිය මැයි මාසයේදී බලයට පත් ජනාධිපති මුහම්මදු බුහාරි විසින් නොවැම්බර් මස මැද වනවිට බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානය පරාජය කිරීම සඳහා එරට හමුදාවට නියමිත කාල සීමාවක්ද ලබාදී තිබේ.
මේ තත්ත්වය තුළ පසුගිය කාලයේදී එම සංවිධානය අත්පත් කරගත් භූමියෙන් වැඩි කොටසක් යළි අල්ලා ගැනීමට හමුදාව සමත් වුවත්, මෙම ම්ලේච්ඡ ත්රස්තයන්ගේ මරාගෙන මැරෙන ප්‍රහාර තවමත් සිදුවෙයි.