සිම්බාබ්වේ දේශපාලනය වෙනුවෙන් රොබට් මුගාබේට සිදුකිරීමට තවත් භූමිකාවක් පවතින බව ඔහුගේ ඉවත්වීම සම්බන්ධයෙන් මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ පූජකවරයා පවසා සිටියි.
ෆිඩෙලීස් මුකොනෝරි පූජකවරයා පවසා සිටියේ හිටපු ජනපතිවරයා වත්මන් ජනපතිවරයාට උපදේශකයෙකු ලෙස සිය සහාය දක්වනු ඇති බවයි.
93 වැනි වියෙහි පසුවූ රොබට් මුගාබේ පසුගිය අඟහරුවාදා සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ එරට හමුදාව විසින් පාලන බලය සියතට ගෙන ඔහුට ධුරයෙන් ඉවත්වන ලෙස එල්ල වූ බලපෑම්ද සමගිනි.
කෙසේ වෙතත්, ඔහුට සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ඇ.ඩො.මිලියන 10ක මුදලක් සන්තෝසමක් ලෙස ලබාදීමක් පිළිබඳ වූ කටකතාවේ සැබෑ තතු තමන් නොදන්නා බවද පූජක තැන පවසා තිබේ.
මේ අතර, රොබට් මුගාබේ ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග හිස්වූ ජනපති පුටුවට එරට හිටපු උප ජනපති එමර්සන් මනන්ගාග්වා තෝරාගත් අතර ඔහු දිවුරුම්දීම පසුගිය සිකුරාදා දිනයේ සිදුවිය.
70 වැනි වියෙහි පසුවන එමර්සන් වසර ගණනාවක් පුරා මුගාබේ පාලනයේ සමීපතමයෙකු ලෙස කටයුතු කළ අයෙකු වන අතර, මෙම මස මුලදී ඔහු ධුරයෙන් පහ කිරීමට මුගාබේ කටයුතු කළේ සිය බිරිඳ වූ ග්රේස් මුගාබේ වෙත එරට පාලන බලය ලබාදීම සඳහාය.