දූෂණ චෝදනා ලැබූ මැලේසියානු අගමැති නජීබ් රසාක් පරාජයට පත්කරමින් එරට හිටපු කෘතහස්ථ දේශපාලඥයෙකු මෙන්ම හිටපු අගමැතිවරයෙකු වූ මහතීර් මොහොමඩ් ලොව වයස්ගතම නායකයා ලෙස අභිෂේක ලැබීමට සූදානමින් සිටියි.
ඊයේ (09දා) පැවති මැලේසියානු මහ මැතිවරණයෙන් වත්මන් අගමැති නජීබ් රසාක්ගේ පාලක බාරිසාන් ජාතික (බී.එන්.) ලීගය වසර 61කට පසුව මෙම දැවැන්ත පරාජය උරුම කරගැනීමද විශේෂත්වයකි.
1957 දී ලැබූ නිදහසින් පසුව මැලේසියාවේ පාලනය බලය දිගින් දිගටම රැකගත් බී.එන්. ලීගය සහ ප්රධාන පක්ෂය වන එක්සත් මැලේ ජාතික සංවිධාන පක්ෂය මෙසේ දීර්ඝ කාලයක් මැලේසියාවේ පාලන බලය හා බහුතර බලය දිනාගත් දේශපාලන ප්රවාහය බවට පත්වුවද, වත්මන් අගමැති නජීබ් රසාක්ගේ ක්රියාකලාපය එහි ශෝභාව දියාරු කර හැර තිබුණි.
එහිදී, අභිනවයෙන් තේරීපත් වන මහතීර් මොහොමඩ්ද කලකට පෙර මෙම බී.එන්. ලීගයේ සාමාජිකයෙකු මෙන්ම, එම පක්ෂය නියෝජනය කරමින් වර්ෂ 1981 සිට 2003 දක්වා මැලේසියාවේ අගමැති ධුරයද හෙබවූවෙකු බව අමතක කළ යුතු නොවේ.
නමුදු, වත්මන් නායකත්වයෙන් රටට සිදුවන හානියෙන් මැලේසියාව මුදාගැනීම සඳහා 92 වැනි වියෙහිදී මහතීර් මොහොමඩ් එරට විපක්ෂය වන පාකටන් හාරපන් පක්ෂය සමග යළිත් තරග බිමට පිවිස ආසන 222න් ආසන 113ක බහුතර බලය ආරක්ෂා කරගැනීමට සමත්ව තිබුණි.
මෙම ජයග්රහණය තහවුරු වනවිට උද්දාමයට පත් මහතීර් මොහොමඩ් ආධාරකරුවන් මහාමාර්ගවලට පැමිණ සිය සතුට ප්රකාශ කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර, වත්මන් අගමැති නජීබ් රසාක් ජනතා කැමැත්ත තමන් භාරගන්නා බව පවසා තිබුණත්, මෙවැනි ප්රබල දේශපාලන වෙනස්කමක් සිදුවන අවස්ථාවේදී වඩාත් සුමට බල හුවමාරුවක් සිදුනොවනු ඇති බවද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
කෙසේ වෙතත්, මෙවර මහ මැතිවරණයේදී සන්ධාන ලෙස ප්රධාන දහරාවේ පක්ෂ තරග කළ නිසා කිසිදු තනි දේශපාලන පක්ෂයකට බහුතර බලයක් දිනාගැනීමට අවස්ථාව හිමිවී නොමැති බැවින්, අවසානයේදී රජය පිහිටුවනු ලබන්නේ කවුරුන්ද යන්න පස්වැනි මුහම්මාද් රජු විසින් තීරණය කරනු ඇතිි බව මැලේසියාවෙන් වාර්තා වෙයි.