ඇමෙරිකාවේදී අත්අඩංගුවට පත් දිව්‍යානි කොබ්රගඩේ නමැති ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රික කාන්තාව ඉන්දියාවට පිටත්ව ගිය බවට ඇමෙරිකානු බලධාරීන් තහවුරු කළ බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
නිව්යෝක් නුවර ජෝන් එෆ්. කෙනඩි ගුවන්තොටුපළින් ඇය ඊයේ (9දා) රාත්‍රී ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව එහිදී වැඩිදුරටත් කියවුණි.
පසුගිය මාසයේදී නිව්යෝක් නුවරදී ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ ඇයට එරෙහිව ඇගේ නිවසේ මෙහෙකාරිය විසින් ගොනුකරන ලද පැමිණිල්ලක් සලකා බලමිනි.
තමන්ට වීසා ප්රකාශනයෙන් එකඟ වූ වැටුපට වඩා අඩු වැටුපක් ගෙවන බවට එහිදී මෙහෙකාරිය කියා තිබිණි. කෙසේ වෙතත් දිව්‍යානි මේ චෝදනා ප්‍රතික්ෂේප කළාය.
මේ අතර ඇමෙරිකානු අධිකරණය අධිචෝදනා ගොනුකරමින් පසුගිය බ්‍රහස්පතින්දා ඇයට ඇමෙරිකාව හැරයන ලෙස නියෝගයක් නිකුත් කර තිබුණු බවද පැවසෙයි.
දිව්යානිගේ අත්අඩංගුවට පත්වීමත් සමග ඇමෙරිකාව හා ඉන්දියාව අතර රාජතාන්ත්‍රික විරසකයක් ඇති විය.
දිල්ලියේ ඇති ඇමෙරිකානු තානාපති කාර්යාලයේ වූ ආරක්ෂක බැරැක්ක මුලින්ම ඉවත් කළ ඉන්දීය රජය, එම තානාපති කාර්යාලයේ නාන තටාකයකින්. ක්‍රීඩාගාරයකින් හා බීම හලකින් සමන්විත ජනප්‍රිය සමාජ ශාලාවට රාජ්‍ය තාන්ත්‍රික නොවන අයට ඇතුළුවීම වලක්වන ලෙසද නියෝග කළේය.
එමෙන්ම ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් මහමග නීති කඩමින් ගමන් කළහොත් කිසිදු නිදහසක් අත් නොවන බවත්, සාමාන්‍ය ක්‍රියාපටිපාටියට අනුව ඔවුන්ට දඬුවම් ලබාදෙන බවටත් අනතුරු ඇඟවීමක්ද කළේය.