බැග්ඩෑඩ් නගරයට දකුණුදිගින් දෑත් බැඳ ඝාතනය කළ පුද්ගල මළ සිරුරු 53ක් හමුවූ බව ඉරාක පොලීසිය අනාවරණය කර තිබේ.
දෑත් පසුපසට බැඳ, ඇස් ආවරණය කර තිබූ ඔවුන්ගේ හිසට සහ පපුවට එල්ල කරන ලද වෙඩි ප්රහාර හේතුවෙන් මියගොස් සිටි බව පොලීසිය කියයි.
හිල්ලා නගරයෙන් සැතපුම් 18ක් පමණ දුරින් වූ අල්-ඝාර්බි හිදී මෙම ඝාතනයන් සිදුවී තිබේ. කෙසේ වෙතත් මෙසේ මරා දැමුණු පුද්ගලයන් කවුද හෝ ඔවුන් මෙසේ මරා දමා ඇත්තේ කවර හේතුවක් නිසාද යන්න තවම පැහැදිලි නැති බවකියයි.
කෙසේ වෙතත් මෙය ISIS සුන්නි ඉස්ලාමීය සටන්කාමීන්ගේ ක්රියාවක් විය හැකි බවට සැක පහළ වී තිබේ.
මියගිය පිරිසේ වයස අවුරුදු 25 - 40ත් අතර වයසේ පසුවන අතර, ඔවුන් ඝාතනය කර දින කිහිපයක් ගත වී ඇති බවද හදිසි මරණ පරීක්ෂකවරු පවසා තිබේ. මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුවන බව ඉරාක පොලීසිය කියයි.