ලෝකයේ විශාලතම මගී නෞකාව ලෙස සැලකෙන රෝයල් කැරීබියන්ස් හාර්මනී ඔෆ් ද සීස් නෞකාවේ පෙරහුරුවක් අතරතුර ජීවිතාරක්ෂක බෝට්ටුවක් පෙරළීමෙන් නැවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරින් තවත් නැවියන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර, මෙම අනතුර සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ඇරඹී තිබේ.
මියගිය පුද්ගලයා 42 හැවිරිදි පිලිපීන ජාතිකයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, නෞකාවේ පෙරහුරුව අතරතුර මීටර් 10ක් පමණ ඉහළ සිට ජීවිතාරක්ෂක බෝට්ටුව කඩා වැටී ඇති බව කියැවෙයි.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී නෞකාව ප්රංශයේ, මාර්සිල්ලේ හි නැංගුරම්ලා තිබූ බවද කියැවෙයි. මෙම අනතුරින් තුවාල ලැබූ සෙසු නාවිකයන් සිවුදෙනා මේ වනවිට රෝහල්ගතව ප්රතිකාර ලබන බවද විදෙස් වාර්තා පවසයි.
ටොන් 226,963ක් බර මෙම දැවැන්ත නෞකාවේ සංචාරකයන් 6,780කට ඉඩපහසුකම් පවතින අතර, එහි 2,100ක කාර්ය මණ්ඩලයක් සේවය කරති. අඩි 1,188ක් දිගින් යුතු නෞකාව අඩි 984ක් දිග අයිෆල් කුලුණටත් වඩා දිගින් යුතුය.