ලිබියාවේ සන්නද්ධ කැරලිකරුවන් විසින් පාලනය කරන වරායකින් උතුරු කොරියානු ධජය සහිත නෞකාවක් ඛනිජතෙල් පටවාගෙන නිරුපද්‍රිතව යෑමත් සමග ලිබියානු අගමැති අලි සෙයිඩන් ධුරයෙන් පහ කිරීමට එරට පාර්ලිමේන්තුව කටයුතු කර තිබේ
එම නෞකාව වෙත සිදුකෙරෙන සැපයුම් සමග සිය ප්‍රථම තෙල් අපනයන කටයුතු ආරම්භ කිරීමට පියවර ගත් බව ලිබියානු වරාය කීපයක්ම තම පාලනය යටතට ගෙන සිටින සන්නද්ධ කැරලිකරුවෝ මීට පෙර පවසා තිබුණි.
මේ අතර, ලිබියානු අගමැතිවරයා අනතුරු ඇඟවීමක් කරමින් පවසා සිටියේ උතුරු කොරියානු ධජය සහිත නෞකාව කැරලිකරුවන් පාලනය කරන වරායකින් තෙල් අපනයනය කිරීමට සැරසුණහොත් එම නෞකාව වෙත බෝම්බ හෙලන බවය.
නමුත්, කිසිදු උපද්‍රවයකින් තොරව එම නැව තෙල් පටවාගෙන දියඹට යෑමත් සමග අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ගෙන ඒමට එරට මන්ත්‍රීවරු කටයුතු කළහ.
එම විශ්වාසභංගයෙන් අගමැතිවරයා පරාජය වීමත් සමග ආරක්ෂක අමාත්‍ය අබ්දුල්ලා අල්-තින්නි වැඩබලන අගමැතිවරයා ලෙස නම් කර තිබේ.
‘මෝර්නින් ග්ලෝරි’ නම් මෙම නෞකාව බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායමක් විසින් පාලනය කරනු ලබන ‘සිදර්’ වරායෙන් මෙසේ ඛනිජතෙල් රැගෙන ගොස් තිබේ.
කෙසේ වෙතත් මෙම නෞකාවේ උතුරු කොරියානු ධජය පැවතියද එය ‘පියොන්ග් යැන්ග්’ පාලනයට සම්බන්ධ යාත්‍රාවක් නොවන බවද කියැවෙයි.
මේ වනවිට ලිබියාව පුරා තෙල් නිධි සහ වරායන් සන්නද්ධ කණ්ඩායම් විසින් අල්ලාගෙන ඇති අතර, වර්ජන නිසා ලිබියානු ආණ්ඩුවේ තෙල් අපනයන ප්රයත්නයට අවහිරයක් එල්ල වී තිබේ.