තුර්කියේ ඉස්තාම්බුල් ගුවන්තොටු පොළේ මරාගෙන මැරෙන ප්රහාරය සැලසුම් කිරීමට සම්බන්ධ යැයි විශ්වාස කෙරෙන IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයෙකු ඇතුළුව ත්රස්තවාදීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ බව එරට ආරක්ෂක අංශ පවසයි.
ඉස්තාම්බුල් නුවර අටාර්ටුක් ගුවන් තොටුපොළ වෙත ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් තිදෙනෙකු විසින් පසුගිය අඟහරුවාදා එල්ල කරන ලද ප්රහාරයෙන් මේ වනවිට මියගොස් සිටින පිරිස 42 දක්වා ඉහළ ගොස් ඇත.
මෙම සිද්ධියට දින කිහිපයකට පෙර, එනම් පසුගිය සෙනසුරාදා එරට ආරක්ෂක අංශ විසින් මෙම ත්රස්තවාදීන් දෙදෙනා ඝාතනය කර තිබූ අතර, ඒ එක් සැකකරුවෙකු අන්කාරා නගරයේ හෝ දකුණුදිග ඩොගාන් නගරයේ ප්රහාරයක් සඳහා පැමිණෙමින් සිට ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
අන්කාරා නගරයේ පසුගිය ඔක්තෝබර් මාසයේදීද ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් විසින් මරාගෙන මැරෙන ප්රහාරයක් එල්ල කළ අතර එහිදී පුද්ගලයන් 103 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
කෙසේ වෙතත්, පසුගියදා ගුවන් තොටුපොළට එල්ල වූ ප්රහාරයෙන් පසුව එරට නගරවල ආරක්ෂාව තර කරමින්, විශේෂ බලකාය විසින් විශේෂ මෙහෙයුමක් දියත් කරමින් ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද පවසයි.