ඉන්දීය විවාහ මංගල්‍යයක් මොහොතකින් අවමංගල්‍යයක් බවට පත්වූ පුවතක් වාර්තා වන්නේ ප්‍රේමය ඇතැම් අවස්ථාවල අන්ඳ බවට හොඳ සාක්ෂියක් සපයමිනි.
එම විවාහ මංගල්‍යයේ මනාලිය ලෙස සැරසී සිටි තම ඥාති සොහොයුරිය තමන්ට වංචා කළේ යැයි පවසමින් ඒ වෙත පැමිණි තරුණයෙකු මනාලිය වෙඩි තබා මරා දමා ඇති බව පැවසෙයි.
29 හැවිරිදි ජායිශ්රී නාම්දියෝ නමැති මෙම තරුණිය වෘත්තියෙන් වෛද්‍යවරියක වන අතර, බෝපාල් හි විවාහ උත්සවය පැවැත්වෙන අතරතුර පැමිණි අනුරංග් සිං නමැති මෙම ඥාති තරුණයා තරුණිය ආසන්නයටම ගොස් ඇයට වෙඩි තබා ඇති බව කියැවෙයි.
විවාහ මංගල්‍යයට ආරාධනා නොලැබූ මෙම තරුණයා ඡායාරූප ශිල්පියෙකු ලෙස වෙස්වලාගෙන ඊට ඇතුළු වී ඇති අතර, මනාලියට වෙඩි තැබීමෙන් පසු තමාටද වෙඩි තබාගැනීමට උත්සාහ කළත් එය ඔහුගේ ශරීරයේ නොවැදී අසල සිටි අයෙකුට සුළු තුවාල සිදුකර තිබේ.
කෙසේ වෙතත් පොලීසිය සිද්ධිය වූ ස්ථානයට පැමිණෙන තුරු විවාහයට සහභාගි වී සිටි සියල්ලෝම මෙම තරුණයාට දිගට හරහට පහරදී ඇති බව කියැවෙයි.
වෛද්‍ය නාම්දියෝ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, වෙඩි තැබීමෙන් ඇගේ බෙල්ලට තුවාල සිදුව තිබේ. කෙසේ වෙතත්, ඒ අවස්ථාවේ ඇය අසලින් සිටි මනාලයා වූ ශල්‍ය වෛද්‍ය රෝහිත් නාම්දියෝ මෙම ප්‍රහාරයෙන් දිවි ගලවාගෙන තිබුණි.
පොලිස් අත්අඩංගුවට පත්වූ අනුරංග් නමැති තරුණයා පවසා ඇත්තේ වෛද්‍ය නාම්දියෝ තමන්ට බොරු කළ බවයි.
කෙසේ වෙතත් ඔහු සඳහන් කරන මේ බොරු කිරීම කවරක්ද යන්න තවම පැහැදිලි නැතත් ඔවුන් දෙදෙනා අතර මීට පෙර සබඳතාවක් තිබෙන්නට ඇති බව පොලීසිය සැක කරයි.
නිල නොවන තොරුතුරුවලින් කියවෙන්නේ මොවුන් දෙදෙනා පාසල් අවදියේ සිට එකට පාසල් ගිය ඥාතීන් දෙපළක බවයි.
සිද්ධියෙන් පසුව දෙපාර්ශ්වයේම ඥාතීන් විවාහ මංගල්‍යය පසෙකින් තබා රෝහල වෙත හඹා ගියද ඔවුන්ට ලැබුණු ආරංචිය සතුට දනවන්නක් නොවීය. ඒ වනවිටත් වෛද්‍ය නාම්දියෝ සදහටම දෙනෙත් පියාගෙන තිබුණි.
කෙසේ වෙතත් මෙම තරුණයා මේ ආකාරයේ ප්‍රහාරයක් එල්ල කිරීමට හේතුව සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ අරඹා ඇති අතර, ඔහු පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.
ආරම්භයේ සඳහන් කළ ආකාරයෙන්ම මෙය ජීවිතාවබෝධයක් නොමැති ආලයෙන් අන්ඳ වූවෙකුගේ අඥාන ක්‍රියාවක් බව නැවත වරක් සිහිපත් කරන්නේ, මින් අහිමිව ඇත්තේ නාම්දියෝ නමැති තරුණිය පමණක් නොව, තවත් රෝගීන් දහස් ගණනක් සුවපත් කළ හැකි වෛද්‍යවරියකද නිසාවෙනි.