සම්පූර්ණ සිනමාපටයක් තත්ත්පරයකටත් වඩා අඩු කාලයකදී ඩවුන්ලෝඩ් කරගත හැකි 5G අන්තර්ජාලසේවාවක් හඳුන්වාදීමට දකුණු කොරියාව කටයුතු කරන බවට තොරතුරක් පසුගියදා වාර්තා වුණා. මෙය වඩාත් සාර්ථක අන්දමින් සිදුකරන සමාගමකට පවුම් මිලියන 900 ක් ලබාදෙන බව එරට රජය පසුගියදා මේ බව අනාවරණය කරමින් කියා සිටියා. ලොව පුරා රටවල් බොහෝමයක්ම තවමත් 4G තාක්ෂණය භාවිත කරද්දී, දකුණු කොරියාව මෙවැනි පියවරකට යාම කාගේත් පුදුමයට හේතු වී තිබෙනවා. කෙසේ නමුත් 4G තාක්ෂණයටත් වඩා දහස් (1,000) ගුණයක් වේගවත් මෙම 5G තාක්ෂණය වෙත තවත් වසර හයක් ඇතුළතදී පිවිසීමට කටයුතු කරන බව දකුණු කොරියානු විද්‍යා අමාත්‍යාංශය ස්ථිරවම පවසා සිටිනවා. ඒ අනුව මෙගාබයිට් 800 ක බරකින් යුත් චිත්‍රපටයක් එක් තත්පරයක් තුළදී ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව 5G පාරිභෝගිකයන් හට අත්වෙනවා. මේ වනවිට භාවිත කෙරෙන 4G තාක්ෂණය හරහා ඒ සඳහා ගතවන කාලය තත්පර 40ක් ලෙස ගණන් බලා තිබෙනවා.
1990 දී 2G තාක්ෂණය හඳුන්වාදෙමින් එරට ආර්ථිකයේ වර්ධනය සඳහා විශාල දායකත්වය ලබාදීමටත්, ඉන් අනතුරුව 2000 දී 3G තාක්ෂණයත්, 2010 දී 4G තාක්ෂණය හඳුන්වාදීමටත් තමන්ට හැකිවූ බව රජයේ ප්‍රකාශකයෙකු පවසනවා. ඒ අනුව 5G තාක්ෂණය සඳහා මෙය සුදුසු අවස්ථාව බව ඔවුන් සලකනවා. ඔවුන්ගේ සැලසුම අනුව 2017 හඳුන්වාදෙන මෙම 5G තාක්ෂණය 2020 දී සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරවීමට බලාපොරොත්තු වෙනවා.මේ සඳහා SK ටෙලිකොම් සමාගම සහ සැම්සුන්ග් හා එල්ජී යන ජංගම දුරකථන උපාංග නිෂ්පාදන සමාගම් සමගින්ද කටයුතු කිරීමට රජය සූදානම් වෙනවා. මේ අතරම තමන් ඩොලර් මිලියන 600 ක මුදලක් වැය කර 2020 වසරේදී 5G තාක්ෂණය හඳුන්වාදෙන බව චීනයේ හුවාවි ජංගම දුරකථන සමාගමද පසුගියදා නිවේදනයක් නිකුත් කළා.