ටොයෝටා සමාගම ඔස්ට්‍රේලියාවේ සිදුකරන සිය මෝටර් රථ හා එන්ජින් නිෂ්පාදනය 2017 වසරේදී අවසන් කරන බව නිවේදනය කර තිබේ. ටොයෝටා සමාගමේ මෙම තීරණයත් සමග එය ඔස්ට්‍රේලියාවේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්රයේ අවසානය සනිටුහන් කරනු ඇති බවද පැවසෙයි.
අධික සේවක වේතනයන් හේතුවෙන් නිෂ්පාදන වියදම් ඉහළ යෑම ටොයෝටා සමාගමේ මෙම තීරණයට හේතුවී තිබේ.
නිෂ්පාදන ක්‍රියාවලිය නැවැත්විමට අමතරව ඔස්ට්‍රේලියාවේ සිදුකරන සංවර්ධන හා තාක්ෂණික මධ්‍යස්ථානයේ මෙහෙයුම්ද ක්‍රමයෙන් සීමා කරන බව සමාගම වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
පසුගිය වසරේදී ෆෝඩ් සහ ජෙනරල් මෝටර්ස් හෝල්ඩ්න් සමාගම්ද ඔස්ට්‍රේලියාවේ සිදුකරන සිය මෝටර් රථ නිෂ්පාදනයන් අවසන් කරන බව නිවේදනය කළේය.
කෙසේ වෙතත් ටොයෝටා සමාගමේ මෙම තීරණයත් සමග එම කර්මාන්ත ශාලාවල සේවය කළ 2,500 කට පමණ රැකියා අහිමි වනු ඇති බවද පැවසෙයි.
ජපාන මෝටර් රථ නිෂ්පාදනයේ පතාක යෝධයෙකු වන ටොයෝටා සමාගම මුලින්ම ඔස්ට්‍රේලියාවේදී සිය නිෂ්පාදනයන් ආරම්භ කළේ වර්ෂ 1963 දීය.
මෝටර් රථ ක්ෂේත්රයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ ටොයෝටා සමාගමේ මෙම තීරණය පුදුම විය යුතු කරුණක් නොවන බවය. මන්දයත්, මිට්සුබිෂී, ෆෝඩ් සහ හෝල්ඩ්න් යන සමාගම් ඔස්ට්‍රේලියාවෙන් නික්මෙන බව පැවසූ විට එරට මෝටර් රථ නිෂ්පාදනයේ නිරත වූ අවසන් නිෂ්පාදකයා වූයේ ටොයෝටා සමාගමය. නමුත්, තරගකාරී මෝටර් රථ නිෂ්පාදන ලෝකය ගත්විට වර්තමානයේදී ඔස්ට්‍රේලියාව තුළ සේවකයක් වෙනුවෙන් ගෙවිය යුතු අධික වේතනයන් එම තරගකාරී නිෂ්පාදනයට කිසිසේත්ම අනුබලයක් නොදෙන බව ඔවුන් පෙන්වා දෙයි. ඒ වෙනුවට තායිලන්තය වැනි අවම සේවක වේතනයන් තුළ උසස් තත්ත්වයේ නිෂ්පාදනයක් ලබාදෙන වෙළෙඳ පොළවල් විවෘත වී ඇති බව ඔවුන් වැඩිදුරටත් පවසයි.