ජපානයේ ටොයොටා සමාගම ලොව පුරා අලෙවි කෙරුණු මෝටර් රථ මිලියන 1.43ක් පමණ නැවත ගෙන්වීමට තීරණය කර තිබේ.
එම මෝටර් රථවල ආරක්ෂිත වා බැලූනවල දෝෂයක් හේතුවෙන් මෙසේ එම රථ නැවත ගෙන්වීමට තිරණය කර ඇති අතර, 2008 සහ 2012 අතර කාලයේ නිෂ්පාදිත ටොයොටා ප්රියස් හා ලෙක්සස් යන මාදිලීන් මේ අතර වෙයි.
ජපානයේ ටකාටා සැපයුම් සමාගමේ නිෂ්පාදිත වා බැලූනවල දෝෂ හේතුවෙන් පසුගිය වසර කිහිපය පුරා ටොයොටා ඇතුළු එරට තවත් මෝටර් රථ සමාගම් කිහිපයකම ලොව පුරා අලෙවි වූ මෝටර් රථ යළි කැඳවීමක් කර තිබූ බව බී.බී.සී.ය කියයි.
කෙසේ වෙතත්, මෙවර යළි කැඳවීමට ටකාටා සමාගමේ සම්බන්ධයක් නොමැති බවත්, මෙවර ඇති වී තිබෙන දෝෂය හේතුවෙන් මාරාන්තික හෝ තුවාල සිදුකළ හැකි තත්ත්වයක් ඇති නොවන බවත් ටොයොටා සමාගම වැඩිදුරටත් පවසා තිබේ.
මෙසේ යළි කැඳවන මෝටර් රථ අතර උතුරු ඇමෙරිකාවට අලෙවි කළ මෝටර් රථ 743,000ක්, ජපානය තුළම අලෙවි කළ මෝටර් රථ 743,000ක් මෙන්ම යුරෝපය, චීනය හා කලාපයේ තවත් රටවල් කිහිපයකටම අපනයනය කළ මෝටර් රථද වන බව කියැවෙයි.