ජාතිකත්වය නාමයෙන් අශිෂ්ට බව ඉදිරියට පැමිණීමක් දක්නට ලැබෙන බව සිය අවසන් විදෙස් සංචාරය සිදුකරමින් බලයෙන් ඉවත්ව යන ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා පවසයි.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වූ බ්‍රෙක්සිට් ඡන්ද විමසීම මෙන්ම, මෑතකදී ඇමෙරිකානු ජනාධිපතිවරණ ඡන්ද විමසීම තුළදීද දක්නට ලැබුණේ මෙය බවද ඔබාමා ග්රීසියේදී පවසා තිබේ.
"අප (ඇමෙරිකාව) වටා මෙන්ම, ඔවුන් (බ්‍රිතාන්‍යය) වටා ගොඩනැගෙමින් පවතින ගෝත්රිකවාදයෙන් ආරක්ෂා වීමට අප කටයුතු කළ යුතුයි" යනුවෙන් ඔබාමා වැඩිදුරටත් පවසා ඇත.
එමෙන්ම, වාර්ගික හා ආගමික වශයෙන් බෙදී වෙන්වීමේ වේදනාකාරී අත්දැකීමකට ඇමෙරිකාව මුහුණදෙමින් සිටින බවද ඔබාමා මෙහිදී පවසා තිබේ.
ඇමෙරිකානු ජනතාවගේ දැක්මේ පැවති සෙලවීමක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට හේතු වී ඇති බවද මෙහිදී ඔබාමා පවසා ඇත. එමෙන්ම, ට්‍රම්ප්ගේ ජයග්‍රහණය තමා පුදුමයට පත්කළ බවද ඔබාමා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.
ග්‍රීක අග්‍රාමාත්‍ය ඇලෙක්ස් ස්ප්‍රාස් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔබාමා මෙම කරුණු අනාවරණය කර තිබේ.
කෙසේ වෙතත්, ග්‍රීක අග්‍රාමාත්‍යවරයා, ඔබාමා සමග පැවැත්වූ සාකච්ඡාවේදී පසුගිය ජනාධිපතිවරණය හෝ ට්‍රම්ප් පිළිබඳ එකදු වචනයක්වත් පවසා නොමැති බවද විදෙස් වාර්තා පවසයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස සිය අවසන් සංචාරයට එක්වන බරැක් ඔබාමා, ග්‍රීසියෙන් පසුව ජර්මනිය හා පේරු රාජ්‍ය වෙතද මෙම සංචාරය තුළ ගමන් කරනු ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
ඔබාමා විසින් සිදුකර ඇති මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වන ස්වාධීන මාධ්‍ය පෙන්වා දෙන්නේ, පසුගිය කාලය පුරා ඔබාමා පාලනය විසින්ම ඇමෙරිකානු ජනතාව මෙන්ම, ලෝක ප්‍රජාව වෙත ඇතිකර තිබෙන බලපෑම ඔහු සහාය දැක්වූ හිලරි ක්ලින්ටන්ගේ පරාජයට හේතු වී ඇති බවයි.
ඔබාමාගේ ගජ මිතුරෙකු වූ බ්‍රිතාන්‍යයේ ඩේවිඩ් කැමරන්ට බ්‍රෙක්සිට් ජනමත විචාරණයෙන් අත්වූ ඉරණම, මෙවර ජනාධිපතිවරණය හරහා ඔබාමාටද අත්වූ බව පෙන්වාදෙන එම මාධ්‍ය, තේරීපත් වූ නව ජනාධිපතිවරයා දිවුරුම් දෙනතුරු කාල සීමාවේදී ඔහු විවේචනය කරමින් කතා කරන ප්‍රථම ඇමෙරිකානු ජනාධිපතිවරයා බවටද ඔබාමා පත්වෙමින් සිටින බව වැඩිදුරටත් පෙන්වා දෙයි.