තේරීපත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් තමාට ඉතා හොඳ පැහැදීමක් හා විශ්වාසයක් ඇති වූ බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ පවසයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් වීමෙන් අනතුරුව හමුවූ ප්‍රථම විදෙස් රාජ්‍ය නායකයා බවට ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ පත්විය. මෙම හමුව නිව්යෝක් නුවර ට්‍රම්ප් කුලුනේදී සිදුවූ අතර, දෙදෙනා අතර සාකච්ඡාව විනාඩි 90ක පමණ කාලයක් පැවති බවද විදෙස් වාර්තා පවසයි.
එහිදී, බොහොම අවංක කතාබහක් බොහොම උණුසුම් පරිසරයක් සහිතව සිදුවූ බවද විදෙස් වාර්තා පවසයි.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇමෙරිකාවේ දීර්ඝ කාලීන මිතුරෙකු බවට පත්ව ඇති ජපාන සබඳතා පවා ට්‍රම්ප් තේරීපත් වීමෙන් පසුව සෙලවීමකට ලක්වනු ඇති බවට කී බොහෝ කතාබහ මෙම සිදුවීමත් සමග පහව යන බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එහිදී, අන්තර් පැසිෆික් සහයෝගීතා වෙළෙඳ ගිවිසුම ශක්තිමත් කිරීම සඳහා උපරිම සහයෝගය ලබාදෙන බව ට්‍රම්ප් පවසා ඇති අතර, මෙය ජපාන අගමැතිවයාගේ මහත් පැසසුමට ලක්ව ඇත. මෙම ගිවිසුම ජපාන පාර්ලිමේන්තුවේ පවා අනුමැතිය ලැබූවකි. කෙසේ වෙතත්, නව ජනපති යටතේ මෙම ගිවිසුම බිඳ වැටෙනු ඇති බව මැතිවරණ සමයේදී ඩිමොක්රැටික් වේදිකාවෙන් මතුවූ ප්‍රබල තර්කයකි. කෙසේ වෙතත්, එම සැකසංකාද මෙම හමුවේදී යළි දුරුවී ඇති බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, ඇමෙරිකානු හමුදා වැඩි වශයෙන් ජපානය තුළ රඳවා ගැනීම සම්බන්ධයෙන් ජපානය උනන්දු විය යුතු බවද මෙහිදී ට්‍රම්ප් පවසා ඇත.
ජපාන අගමැතිවයා පේරු රාජ්‍යයේ පැවැත්වෙන ආසියා-පැසිෆික් වෙළෙඳ සමුළුවට සහභාගී වීමට යන අතරතුර නව ඇමෙරිකානු ජනාධිපතිවරයා සමග මෙම විශේෂ හමුව සිදුවිය.
"අපි බොහොම ලොකු වෙලාවක් ඉතා අවංකව හා සෘජුව අදහස් පළ කළා. ඇත්තටම බොහොම උණුසුම් කතාබහක්. මම හිතන්නෙ, දෙරට අතර හොඳ විශ්වාසයක් නොමැතිව අපිට අනාගතයක් ගැන කතා කළ නොහැකියි. ඇත්තටම අද සාකච්ඡාවේදී ඇමෙරිකානු නායකයා ලෙස ට්‍රම්ප් ගැන මට ඉතා හොඳ පැහැදීමක් හා විශ්වාසයක් ඇති වුණා." යැයි ජපාන අගමැති පවසා තිබේ.
කෙසේ වෙතත්, තවදුරටත් පුළුල් සාකච්ඡාවක් සඳහා ඉදිරියේදී යළි හමුවීමටද දෙරටේ නායකයන් පොරොන්දු වී ඇත. මෙම සාකච්ඡාවට උප ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ මයික් පෙන්ස් හා නව ආරක්ෂඛ උපදේශක ලෙස පත්ව සිටින මයිකල් ෆිල්න් ද සහභාගී වූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.