සදා නොමැකෙන මතකයක් ඉතිරි කරමින් අත්ලාන්තික් සාගරයේ සැඟව ගිය ටයිටැනික් නෞකාවේ ගමන් කළ මගියෙකු සිය මවට ලියූ ලිපිය වාර්තාගත මිලකට වෙන්දේසි වූ පුවතක් වාර්තා වෙයි.
එම නෞකාවේ ගමන් කළ ඔස්කාර් හොල්වර්සන් විසින් ලියූ එම ලිපිය ඇ.ඩො.166,000ක් (රු.දෙකෝටි පණස් ලක්ෂයක් පමණ) මුදලකට මිලදී ගෙන තිබුණේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු විසිනි.
සිය ආදරණීය බිරිඳ මේරි සමග ඔස්කාර් ටයිටැනික් නෞකාවේ ගමන් කරමින් සිටියේ බ්‍රිතාන්‍යයේ සවුතැම්ටන් සිට නිව්යෝක් හි පිහිටි සිය නිවස බලා පැමිණීමටය.
"මේක ප්‍රමාණයෙන් විශාල නෞකාවක්. මාලිගයක් වගෙයි. විශාල හෝටලයක් වගෙයි." ඔහුගේ ලියුමේ නෞකාවේ තේජාන්විත බව ගැන මවට සඳහන් කර තිබුණි.
"කොටි ගණන් තිබුණට ඔහු සාමාන්‍ය මනුස්සයෙක් වගෙයි. ඔවුන් අප සමගම නැව් තට්ටුවේ ඉඳගෙන සිටියා." එවකට ලොව ධනවත්ම පුද්ගලයෙකු ලෙස සැලකුණු ජෝන් ජේකොබ් ඇස්ටර් සහ ඔහුගේ බිරිඳ ගැනද එම ලිපියේ ඔස්කාර් සඳහන් කර තිබුණි.
"හැමදේම හොඳින් සිදුවුණොත්, අපි බදාදා උදෑසන නිව්යෝක් වෙත ළඟා වෙනවා." ඔහුගේ ලිපියේ ඉටු නොවූ බලාපොරොත්තුව එයම විය.
අයිස් කුට්ටියක වැදී උතුරුදිග අත්ලාන්තික් සාගරයේදී විනාශයට පත්වන විට එම නෞකාවේ මගීන් 1,500කට අධික පිරිසක් ගමන් කරමින් සිටි අතර, එහිදී මියගිය අය අතර ඔස්කාර් මෙන්ම ප්‍රකෝටිපත් ජෝන් ද විය. කෙසේ වෙතත් ඔස්කාර්ගේ බිරිඳ මේරි මෙම අනතුරින් දිවි බේරාගත්තාය.