ජර්මානුවන් විසින් ඉහළම අවධානයකට ලක්කරන කරුණ බවට ත්රස්ත ප්රහාර අවදානම පත්ව ඇති බවත්, එය මෑත ඉතිහාසයේ ජර්මානුවන් ත්රස්තවාදය සම්බන්ධයෙන් මෙවැනි අධි අවධානයක් දැක්වූ ප්රථම අවස්ථාව බවත් නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
ජර්මානුවන්ගේ එදිනෙදා ජීවිතයට බලපෑම් කරන ඔවුන් වැඩිම අවධානයක් ලක්කරන කරුණු සම්බන්ධයෙන් කෙරුණු මෙම සමීක්ෂණයේදී, ඊට බඳුන් කෙරුණු පිරිසෙන් 70%ක් දෙනා ත්රස්ත ප්රහාර අවදානම ගැන නිරන්තර අවධානයෙන් සිටින බව පවසා ඇත.
මෑත කාලයේදී යුරෝපය පුරා එල්ල වූ IS ඉස්ලාම් රාජ්ය ජිහාඩ් ත්රස්ත ප්රහාර මාලාව මෙන්ම, එය සෘජුවම ජර්මනිය වෙතද බලපෑම් කිරීම යුරෝපයේ ප්රබලම ජාතිය සසල කර ඇති බව සඳහන් වෙයි.
එහිදී, පසුගිය වසරේදී ජර්මනිය දරුණු ඉස්ලාම් රාජ්ය ත්රස්ත ප්රහාර කිහිපයකට බඳුන් වූ අතර, නත්තල් වෙළෙඳ පොළක් ඉලක්ක කරමින් එල්ල වූ ට්රක් රථ ප්රහාරය එහි වඩාත් කෘර අවස්ථාවක් බවට පත්විය.
මේ සියලු ප්රහාර පිටුපස යුරෝපය ඇතුළු ජර්මනියට ඇතුළු වූ අනවසර සංක්රමණිකයන් සිටීමද කැපී පෙනුණු අතර, සංක්රමණිකයන් සම්බන්ධයෙන් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් දැරූ ප්රතිපත්තිය දැඩි විවේචනයට බඳුන් වීමටද එය හේතු විය.
R+V සමීක්ෂණ වාර්තාවට අනුව ත්රස්ත ප්රහාර අවදානමට පසුව ජර්මානුවන් වැඩිම අවධානයක් ලබාදෙන කරුණ බවට දේශපාලන අන්තවාදය හා වැළ නොකැඩී පැමිණි අනවසර සංක්රමණිකයන් පිළිවෙළින් දෙවැනි හා තෙවැනි තැනට පත්කර තිබේ. ඉන් අනතුරුව යුරෝපයේ ණය අර්බුදය මෙන්ම, ජීවන වියදම ඉහළ යෑම දක්වා තිබේ.
ඒ අනුව, ජර්මානුවන්ගෙන් වැඩිම පිරිසක් මේ වනවිට ත්රස්ත බියෙන් තම එදිනෙදා කටයුතු සිදුකරන බව පැහැදිලි වන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.